2012/09/29

බෞද්ධයෝ වූ අප වාසනාවන්තයින් ද? අවාසනාවන්තයින් ද?

මිතුරනි, අද බිනර පුන් පොහොය දිනය.

බ්ලොග් අවකාශයේ දී නොදුටු ඔබත් මමත් දැන් මිතුරන් වී වසර තුනකට ආසන්න කාලයක්. ඇතැම් අය ෆේස්බුක් හරහාත්, ඇතැම් අය බ්ලොග් ලිපි හරහාත්, ඇතැම් අය දුරකතන හරහාත්, ඇතැම් අය දැක කතාබහ කිරීමෙනුත් දැන් කළණ මිතුරන් බවට පත් වෙලා.

කෙසේ වුවත් අපගේ ඒ හමුවීම් වලින් මා තේරුම් ගත් වටිනා ම කරුණ නම් අප තවමත් ඉම නොපෙනෙන සංසාර ගමන ගෙවා දමන එකම මිතුරු කැලක් බවයි. එයින් ව්‍යංගයෙන් කියවෙන්නෙ මෙතුවක් කාලයක් පුරා පහල වූ බුදුපියාණන් වහන්සේලා සියලු දෙනා අපට මඟ හැරී ගොස් ඇති බවයි. නැතිනම් උන්වහන්සේලා දේශනා කළ ධර්මය අවබෝධ කරගෙන සසර ගමන කෙළවර කරගෙන නැති බවයි.

ඉතින් අප වාසනාවන්තයෝ ද? අවාසනාවන්තයෝ ද?

කෙසේ නමුත් මේ මහා බද්‍ර කල්පයේ පහල වෙන බුදුන් වහන්සේලාගෙන් තව එක් නමක් අපව සසරින් එතෙර කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ මෛත්‍රී බුදුපියාණන් වහන්සේ. අපි නිවැරදිවම දන්නවා මෛත්‍රී බෝසතාණන් වහන්සේ මේ වන විටත් තමන්ගේ පාරමිතා සම්පූර්ණ කරලා තුසිත දිව්‍යලෝකයේ සංතුසිත දිව්‍යරාජයා ලෙස සුදුසු කාලය එළඹෙන තුරු එහි වැඩ හිඳිනවා කියලා.

ඉතින් අප වාසනාවන්තයෝ ද? අවාසනාවන්තයෝ ද?

මීට අවුරුදු හය හතකට කලින් මම කුරුලු හමුදාවේ ඉන්න කාලේ හිතාගෙන හිටියේ ක්‍රීඩකයෙක් හැටියට ලංකාවේ දස්කම් දක්වලා ආසියානු මලළ ක්‍රීඩා තරගය නියෝජනය කරන්න. අවුරුදු හතරක සැලැස්මක් ඇතිව ඉතාම කැපවීමෙන් පුහුණු වුනත් මට ඒ අවස්ථාව මඟ හැරුනා. ගිය සතියේ මම බ්ලොග් මිතුරෙකුට කිව්වා, එළඹෙන සති අන්තයේ මම කොළඹ පොත් ප්‍රදර්ශණය බලන්න එනවා කියලා. නමුත් නොවැලැක්විය හැකි හේතුවක් හින්දා ඒ අවස්ථාව මට මඟ ඇරුනා. ඒ වගේ අද්දැකීම් මට විතරක් නෙමේ ඔබටත් ඇති. අවුරුදු ගණනක සැලැස්මක් තබා, එළඹෙන තත්පරයේ දී අපේ බලාපොරොත්තු කීයක් නම් අපෙන් මඟ ඇරෙනව ද?

ඒ ආකාරයෙන් බලද්දි මේ බද්‍ර කල්පයේ කෙලවරේ බුද්ධත්වය ලබන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා නිවන් අවබෝධ කරගන්න බලාගෙන ඉන්නවා කියන්නෙ කෙතරම් මෝඩ කමක්ද? ඒ වගේ අවස්ථාවක් මඟ හැරෙන්න තියෙන ප්‍රතිශතය ගැන උපමාවක් පවා හිතාගන්න බෑ. කාටද ස්ථිර වශයෙන් කියන්න පුලුවන් අපි මෛත්‍රී බුදු පියාණන් පහල වෙද්දි නොරටක නොසිටීවි කියලා, ධර්මය වටහා ගන්න නොහැකි තරම් බුද්ධි මට්ටමක නොසිටීවි කියලා, නැතිනම් මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙලා නොසිටීවි, අපායේ, තිරිසන් ලෝකයක නොසිටීවි කියලා.

දැන් හොඳින් ම වැටහෙනවා ඇති අපි එහෙටත් නැතුව මෙහෙටත් නැතුව සංසාරේ අතරමං වෙලා කියලා. බ්ලොග් එකක් ලියාගෙන, කමෙන්ට් එකක් දමාගෙන "ආතල්" එකේ හිටියට අපි “පට්ට“ අසරණයි. ඔය කරුණ අපිට කලින් ගුණදාස කපුගේ  මහත්තයට වැටහුනු නිසා ද, "අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ......" කියලා තියෙන්නෙ?


ඉතින් අප වාසනාවන්තයෝ ද? අවාසනාවන්තයෝ ද?

මනෝරථපුරණී අටුවා පාඨයේ කියවෙන ආකාරයට පිළිසිඹියාපත් රහතුන් වශයෙන් වර්ෂ දහසක් ද, ශුෂ්ක විදර්ශක රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, අනාගාමින්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, සෝතාපන්නයන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද වශයෙන් පන්දහසක් අවුරුදු ප්‍රතිවේද ධර්මය පැවැත්වෙන බව කියවෙනවා.

පිළිසිඹියාපත් රහතුන්ගේ වශයෙන්ගේ වර්ෂ දහසක් ද, ෂඬභිඥා රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, ත්‍රිවිද්‍යා රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, ශුෂ්ක විදර්ශක රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, පෘථග්ජන භික්ෂුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද බුදු සසුන පවත්නා බව සම්පදානිය සුත්‍ර අටුවාවෙහි කියවෙනවා. ඉන් අනතුරුවත් පහණක් නිවෙන්නා සේ එකවර මෙලොවින් බුදුදහම අතුරුදහන් වෙන්නෙ නෑ. ඒ කෙසේ වුවත් දේව, බ්‍රහ්ම ලෝක වල තවත් කල්ප ගණනාවක් නිර්මල බුදු දහම නොනැසී පවතිනවා.

මේ ගෙවෙන්නෙ බුදු සසුනේ තුන් වන වර්ෂ දහසයි. මේ කාලය මනෝරථපුරණීයේ කියන අන්දමට අනාගාමින් සිටියහැකි කාලයක්. දීඝනීකායට්ඨ කතාවෙහි දැක්වෙන අන්දමට ත්‍රිවිධ්‍යා රහතුන් සිටිය හැකි කාලයක්.

ඒ හැරුනු කොට අප බුදුපියාණන් වහන්සේ ම සුභද්දයන් අරඹයා දේශණා කලේ, "සුභද්දය, මේ භික්ෂුන් මැනවින් වසයි නම් ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේය" යනුවෙන්.

ඉතින් මේ කාලයෙත් රහතුන් වහන්සේලා ලෝකය තුල ගිණිය නොහැකි තරම් ප්‍රමාණයක් වැඩ හිඳිනවා විය හැකියි. අනිත් අතට නිර්වාණ මාර්ගයට පිවිසිලා මේ සසර ගමන කෙලවර කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න පුද්ගලයන්ටත් මේ කාලයත් සුදුසු ම කාලයක්.

අප ගෞතම බුදු පියාණන් වහන්සේ පහල වූ කාලයත්, මීලගට බුද්ධත්වයට පත්වෙන මෛත්‍රී බුදුන්වහන්සේ බුදුවන කාලයත් අතරතුර ගෙවී යන කාලය හා සසදා බලන විට අප ගෞතම බුදුන් වහන්සේ මෙලොව පහල වෙලා තවම ගෙවී ඇත්තෙ ඇසිල්ලක තරම් කාලයක්. ඇත්ත වශයෙන් නම් ඒ සඳහා උපමාවක් පැවසිය නොහැකි තරම්. ඉතින් සද්ධර්මය ලඟා කර ගැනීමෙන් අපට අදත් අපගේ ජීවිතය අරුත්බර කර ගැනීමට හැකියාව තිබෙනවා.

ඉතින් අප වාසනාවන්තයෝ ද? අවාසනාවන්තයෝ ද?

අප වසර 80 කාලයක් මෙලොව තුල ජීවත්වනවා ය කියන්නෙ දින 29 000 පමණ කාලයක්. එයිනුත් දැන් ඇතමුන්ගේ අඩකට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇති. නමුත් අපට තව දින 15 000 කට ආසන්න කාලයක් ඉතිරි වී තිබෙනවා. ඒ කාලයවත් අපි නිවැරදිව පාවිච්චි කලොත් අපි වාසනාවන්තයෝ ද, අවාසනාවන්තයෝ ද කියලා අපටම මොනවට පැහැදිලි කරගැනීමට හැකි වේවි.

ඉතින් ඒ වෙනුවෙන් අප කල යුත්තෙ බෞද්ධයන් වූ අපගේ අග්‍ර ඵලය වන නිර්වාණ මාර්ගයට පිවිසීමයි.

මිතුරනි, ආමිස සහ ප්‍රතිපත්ති වශයෙන් පිහිටා සිට කුසල් රැස් කිරීමට අපට කාල නියමයක් නෑ. එය කිනම් කාලයකදී උනත් කළ හැකියි සහ කල යුතුයි. ඒ නිසාමයි බුදුන් වහන්සේලා නොමැති කාලවල දී පවා දිව්‍යලොක හිස් නොවෙන්නෙ. නමුත් ඒ කුසල බලයෙන් ලබන දේවත්වය හෝ බ්‍රහ්මත්වය නිසා කෙදිනකවත් ඔවුන්ට ඇරී ඇති අපාය දොරටු නම් වැසෙන්නේ නෑ. එසේ බලන කල බුද්ධාන්තර කාලයක් දේව, බ්‍රහ්ම, සක්විති රජුන් වෙමින්, සොහොන් බිම් පුරවමින් පැමිණෙන අප ගැන කුමන කතාද? ඒ නිසාමයි මහා විමාන තුල විරාජමාන වන දෙවියන්ටත්, කල්ප ගණනින් බ්‍රහ්ම ලෝක වල සුව විඳින බ්‍රහ්මයන්ටත්, මුලු දියතම පාලනය කරන සක්විති රජවරුනටත් වඩා දිළිදු පැලේ සිටින සෝවාන් පුද්ගලයා උතුම් වෙන්නෙ. සොවාන් වීමෙන් පමණයි අපෙන් පළමු වරට අපාය දොරටු වැසී යන්නෙ.

අනෙක් අතට අපේ අම්මා වෙමින්, තාත්තා වෙමින්, සහෝදර සහෝදරිය වෙමින් අපගේ මිතුරා වෙමින් ගණනින් කිව නොහැකි තරම් කාලයක් අප අතර ම හිදිමින් අවසානයේ අපට නිවන් මඟ කියා දුන් අපේ බුදු පියාණන්ට කළ හැකි හොඳම පුජාවත් මඟ පල ලබා නිවන් සාක්ෂාත් කරගැනීමම නොවේද?

ඉතින් බුද්ධිමත් වූ අපත් අදම අපාය දොරටු වසා ගැනීම සඳහා, ඇලිම්  - ගැටීම් අවම කර ගනිමින් උසස් වූ, ප්‍රීතිමත් වූ, සැපවත් වූ අරහත් මාර්ගයට පිවිසීමේ පලමු පියවර ලෙස, අපගේ සිත සමනය කර ගනිමු. එය කල හැකි පලමු හා සාර්ථකම පියවර වන්නෙ භාවනාවයි.

ආධුනිකයන් වූ අපට චතුර් ආරක්ෂක භාවනා ලෙස හඳුන්වන බුද්ධානුස්සතිය, මෛත්‍රී භාවනාව, පිළිකුල් භාවනාව සහ මරණානුස්සතිය ප්‍රගුණ කළ හැකිය.

දානය, සීලය යම් ප්‍රමාණයකින් ප්‍රගුණ කර සිටියත් වර්තමානයේ භාවනාව ප්‍රගුණ කිරීම බොහෝ විට අපගෙන් මඟ හැරී යන්නක්.

මිතුරනි, මේ පහලින් දැක්වෙන්නෙ මගේ කලණ මිතුරු චන්දන බණ්ඩාර විසින් සම්පාදනය කරන ලද බුද්ධානුස්සතී භාවනාව හෙවත් මහානුභාව සම්පන්න බුදුගුණ සිහිකිරීමේ භාවනාව ආධුනික අපට පහසු ලෙස කළ හැකි ආකාරය ගැන ලියැවුනු පොතක්.

ඉතින් මේ උතුම් පොහෝ දින මේ පොත ඔබත් ලබාගන්න. අද ම අපගේ බුදු පියාණන් දෙශණා කළ නිවන්මඟ සාක්ෂාත් කරගැනීමට පළමු පියවර තබන්න.

Download
භාවනාව හා සබැඳි සියලු විස්තර මේ පොතේ අන්තර්ගතයි.

මෙහි දැක්වෙන නව අරහාදී බුදු ගුණ සවිස්තරව දැන ගැනීමටත්, අප ශාස්තෘන් වහන්සේ පිළිබඳවත්, උන් වහන්සේ දෙසූ ධර්මය පිළිබදවත්, උන්වහන්සේගේ පැවදි ශ්‍රාවකයින්ගේ ආනුභාවය දැන ගැනීම පිණිසත් රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ රචනා කරන ලද පොත් අතරින් එකක් වන "සුවිසි මහා ගුණය" පරිශීලනය කරන්න.  භාවනාව ගැන තවත් තොරතුරු තනූජ ජයසුන්දර මිතුරාගේ මෙම ලිපි පෙලින් දැන ගන්න.

බෞද්ධයන් වන අප තෙරුවන් හොඳින් හැඳිනගෙන සිටිය යුතුයි. තෙරුවන් හැඳින ගැනීමට මෙම සුවිසි ගුණය හැර වෙන ක්‍රමයක් නැහැ. මේ ගුණ සූවිස්ස දැනගෙන මැනවින් තෙරුවන් හැඳිනගත් පුද්ගලයාට කිසි කලෙක වෙනස් නොවෙන, කිසිවෙකුට උපායකිනුත් වෙනස් කළ නොහැකි අචල ප්‍රසාදයක් තුණුරුවන් කෙරෙහි ඇතිවෙනවා. මේවා හරිහැටි නොදැන තුණුරුවන් විවේචනයෙන් පුද්ගලයන් කර ගන්නා අකුසලයේ තරම මෙතෙකැයි කියන්න බෑ. මේ ගුණ සූවිස්ස නොදන්නෙ නම් අපි නාමික බෞද්ධයන් පමණයි!

ගෞතම බුද්ධ සාසනයේ දීම සසර ගමන අවසන් කිරීමට පළමු පියවර අපි අද ම තබමු. පෙර කුසල් හා පාරමී පුරා තිබුනහොත් ඔබත් මේ භවයේ දී අරමුණ කරා ලඟා වේවි. නැතිනම් මෙම පියවර ඉදිරියේ දී පාරමිතා සම්පූර්ණ කරගැනීමට ඔබට ඉවහල් වේවි.

ඉතින් අප වාසනාවන්තයෝ ද? අවාසනාවන්තයෝ ද?

අදට ලිපිය අවසානයි.

ප්‍රිය මිතුරනි, ඔබ මේ ලිපිය කියවා ලබාගන්නා වූ යම්කිසි ශක්තියක් වේද, එය ඔබගේ නිර්වාණය දක්වාම නොනැසී පවතීවා. ඔබට පහසුම ප්‍රතිපදාවෙන් ගෞතම බුද්ධ ශාසනයේ දීම නිවන ම වේවා!

..........................................
- බුද්ධි.

51 ක් කියන්නේ !:

  1. මං ඉන්න තැන mediafire බ්ලොක් කරලා තියෙන්නේ. අර පොත ඊයකින් එවන මෙන් ඉල්ලමි
    misterhyde426@gmail.com

    ReplyDelete
    Replies
    1. මිස්ට හයිඩ්, හැකි ඉක්මනින් එවන්නම්!

      Delete
    2. මිස්ට හයිඩ්, ඇටෑච් කරලා මේල් එකකින් එවන්න බෑ. කණගාටුයි. වෙන තැනක පරිගණයකින් උත්සහ කරලා බලන ලෙස ඉල්ලා සිටිනවා.

      Delete
  2. අදහස් ටිකෙන්ම හිත සැනහෙනවා ...බොහොම පිං මල්ලියේ ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියණ්ඩි!

      Delete
  3. මනුස්ස ජීවිතයක් ලැබීම ඉතාමත්ම විරල දුශ්කර දෙයක් බවයි කියවෙන්නෙ. එයිනුත් බෞද්ධයකු වී ඉපදීමට අනිවාර්යයෙන්ම පෙර සසරේ කරණ ලද්දාවූ අනේක විද කුසල කර්මයන්ගේ ආනුභාවය හේතුවනවාට සැකයක් නෑ. බෞද්ධයින් වූ අප කිසිදු සැකයකින් තොරවම වාසනාවන්තයින්. එහෙත් ඒ වාසනාවෙන් ඵල ප්‍රයෝජන ගන්නෙ කීයෙන් කී දෙනාද ? මේ සුළු හෝ මග පෙන්වීමේ ආනූභාවයෙන් බුද්ධිටත් ගෞතම බුද්ධ සාසනයේදීම නිවන් අවබෝධ කොට ගැනීමට ඇවැසි අදිශ්ඨාන ශක්තිය පහල වේවා ! අවසන නිවනම වේවා !!

    ReplyDelete
    Replies
    1. ඔබ මේ ලිපිය කියවා ලබාගන්නා වූ යම්කිසි ශක්තියක් වේද, එය ඔබගේ නිර්වාණය දක්වාම නොනැසී පවතීවා. ඔබට ද පහසුම ප්‍රතිපදාවෙන් නිවනම වේවා !

      Delete
  4. තෙරුවන් සරණයි !

    ReplyDelete
  5. වටිනා ලිපියක්.... ඔබ සැමට ගෞතම ශාසනයෙදීම නිවන් පුර දොර ඇරෙවා...!

    ReplyDelete
    Replies
    1. ඔබ මේ ලිපිය කියවා ලබාගන්නා වූ යම්කිසි ශක්තියක් වේද, එය ඔබගේ නිර්වාණය දක්වාම නොනැසී පවතීවා. ඔබට ද පහසුම ප්‍රතිපදාවෙන් නිවනම වේවා !

      Delete
  6. පිළිසිඹියාපත් රහතුන් වහන්සේලා , ශුෂ්ක විදර්ශක රහතුන් වහන්සේලා , ෂඬභිඥා රහතුන් වහන්සේලා , ත්‍රිවිද්‍යා රහතුන් වහන්සේලා

    මේ රහතුන් වහන්සේලා වර්ග වල වෙනස්කම් මොනවාද ?

    ReplyDelete
    Replies
    1. @ Chanaka Munasinghe

      රහතන් වහන්සේලා කියන්නේ කෙලෙසුන් නැති කරලා [තවත් විදිහකට කිව්වොත් දස සංයෝජන නැති කරලා] රහත් බෝධියෙන් නිවන් අවබෝධ කරගනිපු අය.

      ඒත් ඒ විදිහට නිවන් අවබෝධ කරගත්තත් පුරන ලද පාරමී ධර්මයන්, කරන ලද කුසල කර්මයන් වගේම ප්‍රාර්ථනාවන් නිසා රහතන් වහන්සේලා හැකියාවන් විවිධාකාරයි.

      ඒක නිසා තමා ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේලා, ත්‍රිවිද්‍යාලාභි රහතන් වහන්සේලා, ෂඩ් අභිඥාලාභී රහතන් වහන්සේලා සහ සිව්පිළිසිඹියාපත් රහතන් වහන්සේලා කියලා ප්‍රභේද වීමක් තියෙන්නේ.

      සරල උදාහරණයක් කිව්වොත් උසස් පෙළ සමත් වෙන පිරිස අතරින් ලංකාවෙන් පළවෙනියෝ දෙවෙනියෝ වෙන අය වගේම යන්තමින් පාස් වෙන අයත් ඉන්නවානේ. පොදුවේ ගත්තාම හැමෝම උපෙ පාස් වුණත් බුද්ධියේ හැකියාවේ වෙනස්කම් තියෙනවා නොවැ...

      මේ වෙනස්කම් එකින් එක පැහැදිලි කළොත් කෙලෙස් පමණක් නැති කරලා සෘද්ධි බලයක් ලබන්නේ නැතුව රහත් බෝධියෙන් නිවන් අවබෝධ කරගන්නා අය ශුෂ්ක විදර්ශක රහතුන් වෙනවා.

      පෙර විසූ ජාති සිහි කිරීම, දිවැස්, කෙලෙසුන් නැසීම කියන ඥාණත්‍රය සහිතව රහත් බෝධිය ලබාගන්න අය ත්‍රිවිද්‍යා රහතුන් වෙනවා.

      කලින් කියපු ඥාන තුනත් ඒ හැරෙන්න සෘද්ධි විධ, දිව කන්, පරචිත්ත විජානන කියන ඥාන තුන ඇතුලු ඥාන 6 ක් සහිතව රහත් බෝධිය ලබාගන්නා අය ෂඩ් අභිඥාලාභී රහතුන් වෙනවා.

      අත්ථ පටිසම්භිදා, ධම්ම පටිසම්භිදා, නිරුක්ති පරිසම්භිදා සහ පටිභාන පටිසම්භිදා කියන ඥාණ හතර සහිතව රහත් බෝධිය ලබාගන්නා අය සිව්පිළිසිඹියාපත් රහතුන් විදිහට හඳුන්වනවා.

      රහතන් වහන්සේ කෙනෙක් ලබාගන්න උපරිම උසස් මට්ටම තමා ඒක. අග සව් දෙනම ඇතුළු ප්‍රධාන ශ්‍රාවකය්න් වහන්සේලා සිව් පිළිසිඹියාපත් සහිත රහතන් වහන්සේලා.

      ඒ හැරෙන්න රහතන් වහන්සේලා පෙර භවයන්වලදී කරපු ප්‍රාර්ථනා අනුව අග්‍රස්ථාන හිමිවීමත් සිදුවෙනවා.

      බුද්ධි අයියා තමා මේ ප්‍රශ්නේ මට යොමු කළේ. එයාටත් ස්තුතියි :)

      මකර අධිරාජයාට ප්‍රශ්න තව තියේ නම් අහන්න පුලුවන් විදිහට විස්තර කරලා දෙන්නම් :)

      Delete
    2. මහ රෑ කතා කරලා මකරාගෙ ප්‍රශ්ණයට හරියටම හරියන උත්තරේ දෙන්න පුලුවන් ද කියලා අහපු වෙලාවේ ඉදලා ඒ ගැන තොරතුරු හොයලා, කතාබහ කරලා රෑම උත්තරේ දාන්නම් කියලා, කාටත් නිවැරදිව තේරුම් ගන්න පුලුවන් විදිහට උත්තරය සපයපු හසිතට මගේ ස්තුතිය.

      ඒ වගේම ඉදිරියේ දිත් හසිතට මේ දුන් පිලිතුර වගේ සවිස්තර ලෙස ධර්මකාරනා විග්‍රහ කරන්න හැකියාව සහ අවස්ථාව ලැබේවා !!!

      Delete
    3. @ Hasitha & බුද්ධි

      බොහොම පින්. කාලයක් තිස්සේ තිබිච්ච ප්‍රශ්නයක්.

      Delete
    4. @ බුද්ධි

      අයියණ්ඩිටත් ස්තුතියි :) මකර අධිරාජයාගේ පිනත් අනුමෝදන් කරගන්නවා ඕන්

      Delete
  7. සාදු!සාදු!සාදු!..
    ඔබට තෙරුවන් සරනයි...පිං සිදුවේවා...

    ReplyDelete
    Replies
    1. ඔබ මේ ලිපිය කියවා ලබාගන්නා වූ යම්කිසි ශක්තියක් වේද, එය ඔබගේ නිර්වාණය දක්වාම නොනැසී පවතීවා. ඔබට ද පහසුම ප්‍රතිපදාවෙන් නිවනම වේවා !

      Delete
  8. සාදු! සාදු!! සාදු!!!

    වතුර හිඳිච්ච නැති පොකුණක් ලඟ ඉන්න නිසා අපි තවමත් වාසනාවන්තයි. ඒ පොකුණෙන් වතුර උගුරක්වත් බී ගන්න බැරි උනොත්නං අපි හිතාගන්නවත් බැරි තරං අවාසනාවන්ත වේවි...

    ReplyDelete
    Replies
    1. ඔව්. මේ සියල්ලෙන් වෙන්නෙ ඒ පොකුණ කරා ලං වීම පමණක් වෙන්න පුලුවන්. පොකුනෙන් දිය දෝතක් ගන්න නම්, බුදු පියාණන් කියු මඟට අපි ප්‍රවේශ වෙන්න ම ඕනේ.

      Delete
  9. සාදු! සාදු!! සාදු!!!

    ReplyDelete
    Replies
    1. ඔබ මේ ලිපිය කියවා ලබාගන්නා වූ යම්කිසි ශක්තියක් වේද, එය ඔබගේ නිර්වාණය දක්වාම නොනැසී පවතීවා. ඔබට ද පහසුම ප්‍රතිපදාවෙන් නිවනම වේවා !

      Delete
  10. Replies
    1. ඔබ මේ ලිපිය කියවා ලබාගන්නා වූ යම්කිසි ශක්තියක් වේද, එය ඔබගේ නිර්වාණය දක්වාම නොනැසී පවතීවා. ඔබට ද පහසුම ප්‍රතිපදාවෙන් නිවනම වේවා !

      Delete
  11. මෙවැන් දේවල් ගැනත් අවධානය යොමු කරන්න ඕනේ තමා. අයියණ්ඩිට පින් හුඟක් දෙනෙක්ට මේක මතක් කරලා දුන්නාට

    ReplyDelete
    Replies
    1. ඔබ මේ ලිපිය කියවා ලබාගන්නා වූ යම්කිසි ශක්තියක් වේද, එය ඔබගේ නිර්වාණය දක්වාම නොනැසී පවතීවා. ඔබට ද පහසුම ප්‍රතිපදාවෙන් නිවනම වේවා !

      Delete
  12. ඔබේ මේ කතාව තේරුම් ගන්න එක නම් ගොඩක් දෙනෙකුට ලේසි වෙන එකක් නෑ... තේරුම් ගත්ත කියල කිව්වත් ඕක හරියටම තේරෙන්නේ හෙනම පොඩි දෙනෙකුට විතරයි.. එයාලගෙනුත් ජීවිතේ අනෙක් වැඩවලට වඩා ප්‍රමුඛතාව මේකට දීල (ගිහිගෙය අතාරින එක නෙවෙයි). මේක තේරුම් ගන්නේ තවත් හෙනම පොඩි දෙනයි.. එහෙම කැපවීමෙන් කොහොම හරි මේක අවබෝධ කරගන්නවා කියල යන අය වුනත් යන්නේ හරි පාරෙද වැරදි පාරෙද කියන එක තේරුම් ගන්න කොට ගොඩාක් කල් ගිහින් තියෙයි...

    කරන්න තියෙන හොඳම දේ තමයි තම තමන්ගෙ වර්තමාන ස්භාවය (මනසේ ස්භාවය) 100% අවංකව පිළිඅරගෙන ඒකේ මොනවද හදා ගත යුත්තේ සහ එහෙම හදාගන්න කළයුතු දේ මොනවද කියල හරියට තේරුම් අරන් අන්න ඒ මඟ යන එක කියලයි මට හිතෙන්නේ.. සාදු කාර දිදී පන්සල් ගානේ ගියාට නම් සෙතක් වෙන එකක් නෑ..

    මේක අපිට මතක් කරල දුන්න එකම ලොකු දෙයක්

    ReplyDelete
    Replies
    1. එකඟයි!

      සාදුකාර දෙන එකත් අපේ හිතේ බුදු පියාණන්ට ඇති වෙන ශ්‍රද්ධාව නිසා කලොත් කුසල කර්මයක් වෙයි. නමුත් එයින් උන් වහන්සේ අපට කියා දුන් අවසාන ඉලක්කයට යන්න බෑ.

      මම මේක ඔබට මතක් කරලා දුන්නට මීට කලින් මට මේක මතක් කරලා දුන්නු අය ඉන්නවා. මම මේ ලිපිය පලකලේ මම වගේ තව එක්කෙන් හරි මේ කියන දේ තේරුම් ගනීවි කියලා. ඒක සාර්ථකයි. ඔවුන්ටත් මේයින් යම්කිසි කුසලයක් වේ නම් එය හිමි විය යුතුයි.

      Delete
  13. බුද්ධිට අට්ඨකතා ගැන හොඳ දැනීමක් තියෙන බව පේනවා.
    ඒ කොහොම උනත් ඔබේ ලිපියේ හරය ගත්තොත් මෛත්‍රී බුදුන් බුදුවන තෙක් බලා නොසිට ගෞතම බුදුන් කියා දුන් මග පැහැදිලිව ඇති මේ අවස්ථාවේම ඉන් ලබා ගත හැකි උපරිම ඵලය වන නිවන, නොපමාව ලඟා කරගැනීමට උත්සුක වන ලෙසයි.
    එහෙයින් මමත් 'සාදු', 'සාදු' යයි කියමි.

    ReplyDelete
    Replies
    1. පොත් ගුල්ලා,
      //අට්ඨකතා ගැන හොඳ දැනීමක් තියෙන බව පේනවා.//

      එහෙම කියන්න අමාරුයි. ඇත්තටම මම දැනුයි මේ ධර්මය ඉගෙන ගන්නෙ. මම පුද්ගලිකව හිතන විදිහට බුද්ධ ධර්මය තුලින් මට ඉගෙන ගන්න බො‍හෝ දේවල් තියෙනවා. අලුත් දෙයක් දැන ගන්නා වාරයක් පසා බුදු පියාණන් කෙරෙහි ශ්‍රද්ධාව වැඩි වෙනවා වගේම මම කෙතරම් "හිස්" පුද්ගලයෙක් ද කියලා තේරුම් යනවා.

      කෙනෙකුට තර්ක කරන්න පුලුවන් අපගේ ඉලක්කයට යන්න අසුහාරදහසක් ධර්මස්කන්ධයම දැන ගෙන සිටිය යුතු ද කියලා. එහෙම නොවෙන්න පුලුවන්. සුනීතලා වැනි අය "ඒහිභික්ඛු" භාවයෙන් පැවදි උනත් පෙර කල මහා කුසල් බලයක් පසට යට වූ රන්කාසියක් මෙන් සැඟව තිබුනා.

      මම බෞද්ධයෙක් කියලා මට ඇත්තටම සතුටු වෙන්න පුලුවන් වෙන්නෙ මේ ලියන ලිපි වලින් වගේ බාහිර දේවල් වලින් නෙමෙයි. "මෙවර නොහැකි වුනත් කවදා හරි අපගේ අවසාන ඉලක්කය වෙත ස්ථිරව යාමට අඩිතාලම වැටුනා කියලා දැනුනු දවසට!



      Delete
  14. මම මේ ටිකට තේරුම්ගත්ත එක දෙයක් තමා අපිට නිසි පිළිවෙත් පුරන්න නම් ගිහි ගෙයි ඉඳගෙන බෑ කියන එක. ඉතාම අමාරු වැඩක් ඒ. ඒ කොහොම වුනත් විලක් ළඟ ඉඳලා දිය දෝතක් නොබී ගියොත් වැඩක් නෑ.

    සාදු සාදු සාදු..

    ReplyDelete
    Replies
    1. ඔබ මේ ලිපිය කියවා ලබාගන්නා වූ යම්කිසි ශක්තියක් වේද, එය ඔබගේ නිර්වාණය දක්වාම නොනැසී පවතීවා. ඔබට ද පහසුම ප්‍රතිපදාවෙන් නිවනම වේවා !

      Delete
  15. ස්තුතියි බුද්ධි..
    පොහොය දවසේ හිතන්න යමක් එකතු කලාට..

    ReplyDelete
  16. අපගේ ප්‍රඥාව පාදන්නට වෙර දරන ඔබට ගොඩක් පින්.

    ReplyDelete
  17. මමත් ආවා.. කියෙව්වා...

    ReplyDelete
  18. ඉස්තරම්... ඔබගේ මෙහෙවර බොහොමත් වටින එකක්.

    ReplyDelete
    Replies
    1. රූ, සුදීක, රවා, රතු රජරට,

      ඔබ මේ ලිපිය කියවා ලබාගන්නා වූ යම්කිසි ශක්තියක් වේද, එය ඔබගේ නිර්වාණය දක්වාම නොනැසී පවතීවා. ඔබට ද පහසුම ප්‍රතිපදාවෙන් නිවනම වේවා !

      Delete
  19. බුදුන් දැකීම යනු ධර්මය දැකීමයි යනුවෙන් ගෞතම බුදුන්වහන්සේ දේශනා කර ඇති හෙයින් මයිත්‍රී බුදුන් දැකීමට පතමින් සසර දිගු කර ගැනීම භව තන්හාවේ පැතිකඩක් විතරයි.. නිවන් දැකීම සඳහා මගෙහි ගමන් කරන්නට නම් එකෙන් එක අකුසල් මුලයන් සිඳ දමමින් ඉදිරියට යන්න අවශ්‍යයි.. ඒ සඳහා අද තරම් සුදුසු දිනයක් තවත් නැහැ,... බුද්ධි ඔබ හරි.. ඔබේ දැක්ම හරි.. ගිහි ගෙයි සිට නම් ඒ ගමන හරියට යන්න බැරි බව ඇත්ත හසිත කියනවා වගේ, ඒත ගිහි ගෙයි ඉන්දදී අත් හරිය හැකි අත් හැරිය යුතු දේ බොහොමයි.. වැඩිය යුතු දේ බොහොමයි.. බුරුමය තායිලන්තය වගේ රටවල ගැන වන්නතරවල අනිවාර්යයෙන් රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. වීරිය නැති කම නිසයි අනවබෝධය නිසයි බහුතරයක් අපි ඉන්නේ වැරදි මගේ.. මම නම් මින් මතු ආත්මයේ තරුනවියෙදිම ගිහිගෙය හැර යන්නට තරම් බුද්ධියක් ඇතිව මෙලොවම උපදින්න පතනවා. මේ භාවයේදී හැකිතරම් ඉදිරියට යන්න උත්සාහ කරනවා ඉතිරි ටික කාලේදී.. භාවනාව පුහුණු කිරීම ඒ මගේ මුලික පියවරක්.. ධර්මය අවබෝධ වෙන්නේ පොත පතින් නෙවෙයි.. තමා ඇතුලත දැකීමෙන් අනිත්‍යය දුක සහ අනාත්ම භාවය හරි හැටි අවබෝධයෙන් විතරයි.. මාතෘකාව ඉදිරියට ගෙන බොහෝ වටිනා අදහස් ගෙන එම ගැන බුද්ධිට මගේ ප්‍රණාමය.. සාදු සාදු සාදු !

    ReplyDelete
    Replies
    1. මම කියපු දේ වෙනුවෙන් සරත් අයියා එකතු කරපු ප්‍රායෝගික කාරණා වටිනවා.

      //ධර්මය අවබෝධ වෙන්නේ පොත පතින් නෙවෙයි.. තමා ඇතුලත දැකීමෙන් අනිත්‍යය දුක සහ අනාත්ම භාවය හරි හැටි අවබෝධයෙන් විතරයි.. //

      මේ කාරණාවත් මම පිලිගන්නවා. නමුත් ඇතැම් ධර්ම කාරණා තේරුම් ගන්න මට පොත පතින් සෑහෙන රුකුලක් ලැ‍බෙනවා.:)

      Delete
  20. වටිනා අදහස් ටිකක්

    ReplyDelete
    Replies
    1. ඔබ මේ ලිපිය කියවා ලබාගන්නා වූ යම්කිසි ශක්තියක් වේද, එය ඔබගේ නිර්වාණය දක්වාම නොනැසී පවතීවා. ඔබට ද පහසුම ප්‍රතිපදාවෙන් නිවනම වේවා !

      Delete
  21. බුද්ධාගම විකුණාගෙන කන අයකුට ඔබේ දායකත්වය ලබා දීමෙන් ඔබ ලබාගත්තාවූ සියළු කුසළ ධර්මයන් බෙලෙන් නිවන් සුවම අත්වේවා. අද නම්බර් වන් බිස්නස් එකක් තමයි බුද්ධාගම විකුණාගෙන කෑම. මේ බුදුන් දෙසු ධර්මය නොවේ. මේ මළ විකාරයකි. අසපු, භාවනා, ධර්ම සාඛච්චා, රහත් සැටිපිකට්, ගිහි දේශකයෝ, කවි බන, විරිඳු බන, පිරිත්, කැසට්, සී ඩී, බුදු පිළිම, බුදු සරණයි බෝඩ්, මේ බුදුන්ගේ රටයි ස්ටිකර්, ධාතු ප්‍රදර්ෂන, හොඳ වෙලාවට බුදු හාමුදුරුවෝ පිරිනිවන් පෑවේ, මේ මළ විකාර දකින්න නැති වෙන්න. ජීවත් උනා නම් උන්වහන්සේ හිනා වෙලා මැරෙයි. තවම අඩු බන බයිලා විතරයි. මම මේ බලන්නේ බයිලා ටිකක් ගහලා කීයක් හරි හම්බ කර ගන්න. මනුස්සයෙක්ගේ ආගම තියෙන්න ඕන හදවතේ.

    ReplyDelete
    Replies
    1. මාතලන්,

      01. //බුද්ධාගම විකුණාගෙන කන අයකුට ඔබේ දායකත්වය ලබා දීමෙන්//

      බුද්ධාගම විකුණගෙන කෑමෙන් කියලා අදහස් කලේ බුද්ධ ධර්මයට අදාල කරුණු පොතක මුද්‍රණය කර විකීණීම නම් මෙතෙන එහෙම දෙයක් නෑ. මේ පොත ධර්මදානයක් ලෙස නොමිලේ බෙදා දුන් පොතක් මුද්‍රණ ගාස්තු සියල්ල දරා ගනිමින්. පීඩීඑෆ් කලේ ඒ මුද්‍රණය කල පොතමයි.

      02.//අද නම්බර් වන් බිස්නස් එකක් තමයි බුද්ධාගම විකුණාගෙන කෑම.//විකුණාගෙන කෑවාම එහි ප්‍රථිපලත් විකුණාගෙන කන අයටම නේද?

      03. //මේ බුදුන් දෙසු ධර්මය නොවේ. මේ මළ විකාරයකි.// මේ අදහස මම ලියපු කරුණු ගැනද? වෙනත් දෙයක් ගැනද?

      04.ඉතිරි කොටසින් මාතලන් කියන්න හදන දේ මට පැහැදිලියි.

      අනිත් අතට මම මේ ලිපිය ලිව්වෙ මම කියන්න යන කාරනාව තව එක්කෙන් හරි තේරුම් ගනීවි කියලා.

      මොකද මේ සංසිද්ධිය මටත් අවබෝධ කරවපු නිසා. ඔහු ආගම හදවතේ තියාගෙන විතරක් හිටියා නම් සමහර විට අදටත් මට, මම මේ කියන අදහස නොවැටහී තියෙන්න තිබුනා.

      Delete
  22. තෙරුවන් සරණයි

    ReplyDelete
    Replies
    1. ඔබටත් තෙරුවන් සරණයි!

      Delete
  23. මට මෙව්වා තේරෙන්නේ නැහැ සහෝ

    ReplyDelete
    Replies
    1. තේරුම් ගන්න උත්සහ කරොත් මාර වටිනවා.

      Delete
  24. මාතෘකාව දැක්ක ගමන් මට කියන්න හිතුණේ අපි බෞද්ධයෝ වීමම වාසනාවක් කියල තමයි... එක එක්කෙනාගේ වාසනා ගුණය විවිධ වෙන්න පුළුවන්... සසර සැරිසරද්දී එකතු කරගත්තු කුසල අකුසල කර්මශක්ති අනුව... ඒත් බෞද්ධයෙකු වී උපත ලැබීමම එක්තරා ආකාරයක වාසනාවක් විදියටයි මම දකින්නේ... ලිපිය ලියූ ඔය අයියට පින් සිදුවේවා!!! තෙරුවන් සරණයි...

    ReplyDelete
    Replies
    1. ඔබ මේ ලිපිය කියවා ලබාගන්නා වූ යම්කිසි ශක්තියක් වේද, එය ඔබගේ නිර්වාණය දක්වාම නොනැසී පවතීවා. ඔබට ද පහසුම ප්‍රතිපදාවෙන් නිවනම වේවා !

      Delete

ඔබේ පංගුව...

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...