2012/12/08

කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගේ අන්තිම ඉල්ලීමට ඕගොල්ලන් ප්‍රතිචාර දක්වපු හැටි.......!

සයිබර් යාය වහලා දැන් මාසෙකට කිට්ටුයි.

වහන දවසේ කිව්ව විදිහට අපි මේ දෙසැම්බර් පළමුවැනිදා අඳ ගොළු, බිහිරි දරුවන්ගේ ළමා නිවාසයට ගියා. මේ වගේ දෙයක් කරලා ලෝකෙට අඬබෙර ගහලා කියන එක ලෝක චාරිත්‍රය නොවුනත් කාරණා කිහිපයක් හින්දා අඬබෙරය ගහන්නයි ලෑස්තිය.

අනිත් හැම වතාවකටම වඩා මේ වතාවේ ගොඩක් සාර්ථක විදිහට මේ වැඩේ කරන්න පුලුවන් වුනා! ඒ අපේ හිතමිතුරු බ්ලොග් කරුවන්ගෙත් සහයෝගය ලැබුනු නිසා. මේ නිසා ඒගොල්ලන්ට තියෙනවයි කිව්ව අඩුපාඩුත් ඊට අමතරව වියලි ආහාර ප්‍රමාණයකුත් සැපයීමට අපිට හැකි වුනා.

එදා දවස ගත වුනු හැටි කෙටියෙන් කිව්වොත් උදේ 8.45 ට පමණ අපි එහෙට යන්න පිටත් වුනා.

ඊට පස්සෙ ඒ ගොල්ලන් අපිව රැස්වීම් ශාලාවට එක්කගෙන ගියා. ඒ වෙද්දිත් එහේ දරුවෝ රැස්වීම් ශාලාවට පුටු බංකු අදිමින් ඒක සූදානම් කරනවා. සංඥා මගින් ඒ ගොල්ලෙ වේගයෙන් අදහස් හුවමාරු කරගත්තා. ඒක බලාගෙන ඉන්න වටින දර්ශණයක්. අන්තිමේ ඒ ගොල්ල අපි වෙනුවෙන් සිංදු සහ නර්ථන කිහිපයක් ඉදිරිපත් කලා තේ වෙලාව එනකල්. එයින් කන් නොඇසෙන ගැණු ළමයි නර්ථනයත්, කන් නොඇසෙන පිරිමි ළමුන්ගේ නාට්‍යත් අපිව පුදුමයට පත් කලේ කිසිවක් නොඇසෙන ඔවුන් සිංදුව වල තාලයට නිවැරදිව පා තබන ආකාරය දැකලා. මේ ලිපියත් එක්ක තියෙන වීඩීයෝ ක්ලිප් එක බලන්න. ඒකේ තියෙන්නෙ ඇස් නොපෙනෙන දරුවන්ගේ ගීතයක්. ඒක අහලා එයාලගේ බලාපොරොත්තුව දැනගන්න.

ඉන්පසු උදා වුනේ තේපැන් සංග්‍රහය. ඒක ජයට කෙරුනා. එතනදී අපි බලාපොරොත්තු නැති වුනු දෙයක් වුනා. ඒ ‍‍ඇස් නොපෙනෙන දරුවන්ට පෙනෙන අයත්, කුඩා දරුවන්ට වැඩිහිටි දරුවනුත් කිසිවෙකුගේ බලපෑමක් නැතිව උදව් කල ආකාරය. ඔවුන් අපි බෙදන ලද කෑම අරගෙන ඒවා ඇස් නොපෙනෙන, වෙනත් ආබාධ සහිත අයට හා කුඩා දරුවන්ට මුලින් බෙදා දුන්නා. කෝල ගති ඇති ගෑණු ළමයිගෙන් විමසලා පිරිමි ළමුන් ඉදිරිපත්වෙලා ඒ අයට තමන් කැමති කෑම අරගෙන දුන්නා.  ඒක හිත ඇදගන්නා දර්ශණයක්.

ඉන් පසු උදා වුනේ ඒගොල්ලන්ට තෑගි බෙදා දුන් අවස්ථාව. අන්සියලු දේට වඩා ඔවුන් එයින් සතුටට පත්වූ බවක් පෙනෙන්න තිබුනා. ඇස් නොපෙනෙන අය ඒවා සිඹිමින් හා අතගාමින් ඒවා හඳුනාගැනීමට උත්සහ කලා.  මුලින්ම පැමිණි කුඩා දරුවන්, අප ආයතනයේ අවුරුදු හතක පමණ කුඩා දරුවන් අතින් තෑගි අරගෙන ඔවුන්ට වැඳ වැටුනු ආකාරය සිත සසල කලා. පසුව ඒක නිවැරදි කලා.

ඉන්පසු පැය විසිහතරේම ඔවුන් වෙනුවෙන් වෙහෙසෙන කාර්ය මණ්ඩලයට පුංචි තෑග්ගක් දෙන්නත් අපි අමතක කලේ නෑ. ඒවගේ දෙයක් ඒ ගොල්ල කවදාවත් බලාපොරොත්තු වුනේ නෑ කිව්වා. සභාපති තුමා නම් තෑග්ග කාරුණිකව ප්‍රතික්ෂේප කලා.

ඊටත් පස්සෙ සභාපති තුමාගේ ස්තුති කතාවෙන් පස්සෙ දරුවෝ ආපු අයට වැඳලා ස්තුති කලා.

පහලින් තියෙන්නෙ එදා ගත්තු පින්තූර වගයක්. මේ පින්තූර ගද්දි ඇපචර් බැපචර් ගැන හිතන්න වෙලාවක් තිබුනේ නැති නිසා උසස් තත්වයේ පින්තුර සටහන් කරගන්න බැරි වුනා. ඒත් අදහසක් ගන්න මේවා හොඳටම ප්‍රමාණවත් වෙයි කියලා හිතනවා. වීඩීයෝ ක්ලිප් ටික මගේ අතේ තිබුනු අති නවීන ජංගම දුරකතනයෙන් ගත්තුවා. ඒ හින්දා ඒවයේ “කොලිටිය” ගැන හොයලා මගෙන් මුකුත් අහගන්න එපා.

මෙන්න පින්තූරු ටික.

ඒගොල්ලන්ගේ තෑගි පාර්සලේ මේ තියෙන්නෙ. ඔය පේන ආයතන වල අනුග්‍රහයත් අපිට ලැබුනා.

ඕන කරලා තිබුනු අල්මාරි 3 ත් ගන්න පුලුවන් වුනා.



තාම බස් එකේ ඉන්නෙ වෙලාව එනකල්

වියලි ආහාර.....


හස්ත මුද්‍රාවෙන් සංවිධාන කටයුතු.
පින්වත් පිරිස... හෙහ් හේ.....
රී - චාජර්බල් ලෑම්ප්.

ඒගොල්ලන්ගේ තෑගි ටික....
පොත්, රිචාජබල් ලාම්පු, විදුලි ස්ත්‍රික්ක, බ්ලෙන්ඩර්, බෙහෙත් වර්ග සහ තෑගි....
සංගීත සර් ගෙනල්ලා තියපු  පුටු 6 ම කව්දෝ උස්සලා.... මේ ඉන්වෙස්ටිගේෂන් එක!
යන්තං දැන් එක විදිහක් කස්ටිය....
පෙර පුහුණුවක
මේ කාර්යමණ්ඩලයේ තෑගී......
ඉල්ලපු පොත්
ඕන කරනවයි කියපු බඩු.....
අපේ සංගීත සර්....
සභාපති තුමාගේ කතාව
ඒගොල්ලන්ගෙන් සිංදුවක්.....
මේ විඩියෝ කරපු සිංදුව කියන වෙලාව.
තෑගි බෙදා දුන් අවස්ථාව
තෑගි බෙදා දුන් අවස්ථාව
තෑගි බෙදා දුන් අවස්ථාව
තෑගි බෙදා දුන් අවස්ථාව
තෑගි බෙදා දුන් අවස්ථාව

මෙයාට හරි අකරතැබ්බයක් වෙලා. එයා අපි එනවයි කියලා දැනගත්තු දවසේ ඉදලා සිංදු පුරුදු වුනාලු අපි ආවම කියලා පෙන්වන්න. ඒත් අපි එන දවසේ උදේ හරි නරක විදිහට එයාට උණ ගත්තලු. ඒ නිසා එයාට ඇඳට වෙලා තනියෙම ඉන්න වෙලා. අපි ගිහිං එයාගේ තෑග්ග දීලා ආවා.
සභාපති තුමාගේ ස්තුති කතාව
ඒගොල්ලන්ගේ ස්තුතිය...

‍මේ තියෙන්නෙ වීඩීයෝව


ඹන්න ඔහොමයි කෙහෙල්කොටුවේ චූටි මහත්තයාගේ අන්තිම ඉල්ලීමට ඕගොල්ලන් ප්‍රතිචාර දක්වලා තිබුනේ....!

ප/ලි-
මේ වැඩේ කරලා ලෝකට අඬබෙර ගහලා කිව්වෙ මෙන්න මේ හේතු නිසා.

01. මේ වැඩේට සම්බන්ධ වෙනවමයි කියලා විවිධ හේතු නිසා සම්බන්ධ වෙන්න බැරි වුන අයටයි, මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්න කෙහෙල්කොටුවට එන යන හිත මිතුරන්ට මේ ගැන දැගන්නයි, ඒ දෙගොල්ලන්ටම අයිති නොවෙන කස්ටියටයි දැක බලාගෙන සතුටුවෙලා පහන් සංවේගය උපදවා ගන්න.

02. මේකට සම්බන්ධ වුනු ඇනෝලට පුද්ගලිකව පණිවිඩයක් යවන්න ක්‍රමයක් නොදන්න නිසා.

03. ගියපාර මේ වගේ වැඩ කරද්දි අපිත් එක්ක එකතු වුනු ඔබා මාමා මෙදා පාර නෑ. මේ කරපු දානයෙන් යම්කිසි කුසලයක් තියෙනවා නම් ඔබා මාමටත්, මේකට සම්බන්ධ වූ, සම්බන්ධ නොවූ පින් කැමති සියල්ලන්ටත් මේ පින් අනුමොදන් කරන්න.

ප/ප/ලි - 
සයිබර් යාය වැහැව්වට බිසි තත්වයේ නම් අඩුවක් නෑ. ඊලගට එන්නෙ නත්තල් දන්සැල. ඊටත් කලින් හෙට අනිද්දා එන ලෝක විනාසෙට ලෑස්ති වෙන්නත් තියෙනවා. ඇත්තටම මාරයට ස්තුති කරන්න ඕන කලින්ම "ලෝක විනාස බඩු ලිස්ට් එක" ප්‍රසිද්ද කලාට. ඒකට මම කැමරාවකුත් ඇඩ් කරගත්තා.

බෙර සද්දෙ අහගෙන සිටි සියලු දෙනාටම ස්තුතියි.

............................................
- මීට ඔබේ හිතවත් සයිබර් යාය ඇඩ්මින් මහතා

2012/11/13

සයිබර් යාය මේ මොහොතේ සිට වසා දැමේ | අවසාන ලිපිය කියවන්න සියලු දෙනාට ආරාධනා.....!

වැදගත් යමක් කියන්න යනකොට වැදගත් විදිහට භාෂාව හසුරුවන්න ඕනේ කියලා “සිංහල සාහිත්‍ය දින දේශණය“කට ආපු කව්දෝ කිව්වා මීට කාලෙකට කලින්. ඉතින් මේ කාරණය ඕගොල්ලන්ට කියන්න මම භාවිතා කරන භාෂා ශෛලිය මොකක් වුනොත් හොඳයිද කියලයි මම මේ වෙන තුරු කල්පනා කලේ. ඒත් මේ දක්වා නිවැරදි නිගමනයකට එන්න බැරි වුනා. ඒක නිසා කාලෙකට කලින් මාරයා අනුගමනය කල සිය සිතුවිලි නිදහසේ පිටපත් කිරීමේ ශෛලිය මම පලවෙනි වරට උපයෝගි කරගන්නවා.

කොටින් කිව්වොත් කියන්න තියෙන්නෙ බොහොම කෙටි පණිවිඩයක්. ඒක තමා සයිබර් යාය වහලා දාන්න වෙනවා කියලා. කාලෙකට කලින් නම් මෙහෙම කිව්වම කස්ටිය බොහොමයක් කිව්වේ “හැබැයි අයියා සයිබර් යාය වැහැව්වොත් අපි ලෝකාන්තෙට ගිහිල්ලා පනින එකත් පනිනවාමයි“ කියලා. ඒ සයිබර් යාය පීක් එකේ තියෙන කාලේ. ලෝකේ කොච්චර කුරිරුද කියන්නෙ අද නම් එහෙම කියන්න කෙනෙක් හොයාගන්න එක ග්‍රෑම් 450 හේ පාන් ගෙඩියක් හොයාගන්නවා වගේ හෙන අමාරු දෙයක්. ඒක නිසා එදත් අදත් හැමදාම හිටිය සහෘදයෝ දාහක් හමාරක් ඇරුණම බොහෝ පිරිසකට ආමන්ත්‍රණය කරන්න මට සිද්ද වෙන්නෙ නෑ.

මේ වෙලාවේ බ්ලොග් එකේ ආරම්භය ගැනත් වචනයක් කියලා ම සටහන අවසාන කරන්නයි මම බලාපොරොත්තු වෙන්නෙ.

මම මුලින් ම “අන්තර්ජාලයෙන් මුදල් හොයන සරළ ක්‍රම තියෙනවා, ඒවා කරන්න බ්ලොග් හරහා පුලුවන්‘ ය කියලා ලැබුනු ඔත්තුවකට අන්තර්ජාලය පිවිසිලා ගූගල් වල ඉමේජ් විකල්පයෙන් ඒ ගැන හොයද්දියි සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ ලෝගෝ එක දකින්න ලැබුනේ. ඒ ඔස්සේ ගියාම ඉන්ද්‍රනාමගේ බ්ලොග් එකට පිවිසුනා. එතනින් එස්බියූ එකට ගියා. එතකොටයි මම දැනගත්තෙ සිංහල බ්ලොග් කරුවෝ කියලා සත්තු ජාතියක් මේ අතට අහුවෙන්නැති ලෝකේ ඉන්නවා කියලා. ඒ එක සතෙක් වෙන කකාගේ චිත්තාකර්ශණීය ලිපියකින් කුලුගැන්වුනු සිතයි මාව බ්ලොගර් කෙනෙක් කරන්න මූලික වුනේ. එතන ඉදලා අද වෙන කොට අවුරුදු තුනකට ආසන්න කාලයක් ගත වෙලා.

01. ලිපියක් ලියද්දි කියවන්නාට පණිවිඩක් දෙන්න පුලුවන් නම් දෙන්න.
02. හැම ලිපියකින් ම පණිවිඩ දෙන්න ඕනේ නෑ.
03. පණිවිඩක් නොදුන්නත් කමක් නෑ. කියවන කිසි කෙනෙක්ට වැරදි ආදර්ශයක් ලැබෙන විදිහේ දේවල් ලියන්න එපා.

කියන මූලික කාරණා තුන හිතේ තියාගෙනයි මම නිතරම ලිපියක් ලියන්න බලාපොරොත්තු වුනේ. මම කාටුන් වලින් චූටිමහත්තයා හා ටිකිරි වගේම යූරො දෙකේ වීරයා හරහා ලියපු දේවල් සියල්ල ඔය රාමුව ඇතුලේ ඉදලා ලියන්නයි උත්සහ කලේ. ඒක සාර්ථක වුනා කියලා මම හිතනවා. මේ ටික කාලෙට මට සම්මාන දෙක තුනකුත් ලැබුනේ ඒක නිසා වෙන්නැති. [ඕනෑම දුක්මුසු අවස්ථාවක සිය චැනලය වනා ගනිමින් දුක් වීම ඕනෑම ජන මාධ්‍යයකට ඇති පරම අයිතිවාසිකමක් සේ මා සලකමි. :)]

ඒ කොහොම උනත් දෙයක් ඇති වුනානම් ඒක පැවතිලා නැතිවෙලා යනවා කියන පරම සත්‍යයට අයිතිනැති මේ ලෝකේ කිසි දෙයක් නෑ. ඒකට මේ කෙහෙල්කොටුවත් අයිතියි.

ඒ අනුව සයිබර් යාය වහලා දාන්නයි සුදානම. මේ දක්වා සයිබර් යාය සමඟ නොපෙනෙන ලෙස රැදී සිටි, කමෙන්ට් මගින් මිතුරන් සේ රැදී සිටි, කමෙන්ට් වලට ඔබ්බෙන් ඊ මේල් හරහා රැදී සිටි සහ එතනිනුත් ඔබ්බට ගිහිල්ලා සෑබෑ ලෝකයේ දී හඳුනන පිරිසක් හා මිතුරන් පිරිසක් ලෙස සමීප වූ සියලු දෙනාට මගේ ස්තුතිය පුද කරන්නත් කැමතියි. බ්ලොග් අවකාශය නිසා මා වැනි පුද්ගලයෙකුට මුදල් ගෙවා හෝ ලබා ගත නොහැකි සේවාවන් බොහෝමයක් එක ඊමේල් පණිවිඩයකින් එක දුරකතන ඇමතුමකින් සම්පූර්ණ කරගැනීමට ලැබීම ගැන මම තවමත් සිටින්නේ විශ්මයකින්.

බ්ලොග් අවකාශයට පැමිණිලා ටික කාලයක් ගත වෙද්දි මට දැනුනා මේ අවකාශයෙත් විශේෂ වූ පුද්ගලයන් ඉන්නවා කියලා. ඒ වගේ අයගෙන් මම ලියන ලිපියකට ප්‍රතිචාරයක් වැටෙනකල් මම සෑහෙන කාලයක් බලාගෙන හිටියා. ඒ අතරින් කතන්දර මුලින්ම ආවා. ටෑබූ ලොක්කා එන්න අවුරුද්දක් විතර කාලයක් ගත වූනා. ඉන්ද්‍රනාත නේනුවර සර් එන්න ඊටත් වඩා කල් ගත වුනා. බ්ලොග්කාරියන්ගෙන් කිහිපදෙනෙකුත් හිටියා. එයින් එක්කෙනෙක් සයිබර් යායේ විශේෂ දවසක දී ගොඩවැදුනා. බ්ලොග් එක වහලා දාන්න යන මොහොතෙත් ලිපි කියවනවා කියන ඉඟි ලැබුනත්, තවමත් ප්‍රතිචාරයක් නොදක්වපු එක්කෙනෙක් ඉන්නවා. කරන්න දෙයක් නෑ. ඒවා එහෙම තමා.

ලිපිය ටිකෙන් ටික දික් ගැස්සුනත් තවත් කියන්න දෙකක් තියෙනවා.

කෙහෙල්කොටුව චූටි මහත්තයා කතා වල පල නොවුනු කතා වගයක් තවම ඩ්‍රෆ්ට් විදිහට තියෙනවා. සීසන් 3 එකට අලුත් තාලෙට ලියවුනු කතා වගේකුත් තියෙනවා. ඒ අතරින් මම වැඩිපුරම කැමති 1989 යේ අඳුරු යුගයේ එක්තරා දවසක අපේ ඇස්පනා පිට බිමට ඇඳගෙන වැටුනු ගුවන් යානයක කතාවට. ඒ අවස්ථාව ඇස් දෙකට දැක්ක පිරිස තුන් දෙනෙක් හෝ හතර දෙනෙක්. අනික චූටි මහත්තයා වගේ පුංචි කොලු ගැටයෙක්ගේ ඇස්පනා පිට අහස් යානයක් කඩා වැටුනම ඒ ගැන කොච්චර තොරතුරු දැන ගන්න පුලුවන් ද ඕගොල්ලන්ට. ඕගොල්ල දන්නවද පුංචි කාලේ මතකය නිවැරදිද කියලා බලන්න මම අපේ සහෝදර බ්ලොග් කාරයෙක් වෙන ප්ලේන් ඉෂාර මහත්තයගෙන් දවසක් මේ ගැන විමසුවා. එයා හරියටම වැටිච්ච දවසක් එක්කලා ඒ කතාව ඇත්ත කියලා සනාත කලා. වෙන මොකවත් ඕනේ නෑ, එයා මේ සිද්ධිය ගැන කොච්චර උනන්දු වුනාද කියනවා නම් ඒ ප්ලේන් එකට ගාපු තීන්න ටින් එකේ ගාණත් හොයලා කිව්වා. අන්න මිනිස්සු! වැඩේ කියන්නෙ මේ තීරණය නිසා ඕගොල්ලන්ට ඒ ලස්සන කතන්දරය දැන ගැනීමේ අවස්ථාව නැති වෙලා යනවා. මොනවා කරන්නද අච්චර ජනප්‍රිය ව තිබුනු ෂර්වුඩයේ රොබින් රූපවාහිනී කතා මාලාවත් අනුග්‍රාහකයෙක් නැතුව නවත්තලා දැම්මනං මේ කෙහෙල්කොටුව මොකද්ද?

දැන්නම් කතාව හොඳටම දිග්ගැස්සුනා වැඩියි. කමක් නෑ. මේක අවසාන ලිපිය නිසා මම නිදහසේ ලියනවා.

මම දැන් කියන්න යන්නෙ සයිබර් යාය වහලා දාන්න වුනු ප්‍රධානම හේතුව.

ගොඩක් හේතු තිබුනත් ප්‍රධානම හේතුව වෙන්නෙ මේ සදහා වියදම් කරන්න තරම් කාලයක් හොයා ගන්න නොහැකි වීම. ලබන වසරේ අපේ ස්ටාර් කිඩ්ස් ඇකඩමියේ කරන්න යන වෙනස්කම් සාර්ථකව කරගන්න බ්ලොග් වෙනුවෙන් ගතකල කාලයෙන් සෑහෙන පංගුවක් වැය කරන්න වෙලා. අලුත් තැනක අලුත් අංග එකතු කරලා කරන්න යන වෙනස් කම් කොහොම වෙයිද කියලා නිතර දෙවේලේ අවධානයෙන් ඉන්න වෙන නිසා, නිදහස් මනසට තිබුනු ඉඩ ගොඩක් අඩුවෙයි. මම හැම තිස්සෙම උත්සහ කලේ වැඩිපුර ලිපි ලියනවටත් වඩා ලියන ලිපියට වැඩි සැලකිල්ලක් දීලා නැවත නැවත කියවන්න පුලුවන් ලිපියක් ඔබට ඉදිරිපත් කරන්න.  එහෙම කරන්න සැලකිය යුතු කාලයක් මට නම් වැය වෙනවා.

ඉතින් මේ මොහොතේ මම අලුත් බ්ලොග් කරුවන්ගෙන් ඉල්ලන්නෙ...... එක්කෝ මම මුකුත් ඉල්ලන්නේ නෑ. ඉල්ලලා ගෙවා ගන්න බැරි වුනොත් එහෙම තව එකක්. මෙච්චර කල් පිරිසිදුවට තිබ්බ මගේ අත්දෙක!

ඒත් මම වෙනුවෙන් නැතත්, අන්තිම මොහොතේ අපෙන් උදව් ඕන පිරිසක් ගැන මම සඳහන් කරලම නවතින්නම්.

ස්ටාර් කිඩ්ස් ඇකඩමියේ වර්ෂ අවසාන සුහද හමුව ගිය වතාවේ සංවිධානය කලේ හොලිඩේ රිසෝට් එකක. එදා ළමයි හොදහැටි විනෝද වුනා. මෙදා පාර  අපි ඒක පවත්වන්නෙ අඳ ගොලු බිහිරි නිවාසෙක. මේ දෙසැම්බර් 1 වැනිදා. මුලින් ඒක දෙසැම්බර් 15 පවත්වන්න හිටියත් ඒ ගොල්ලන්ගේ පහසුව පිනිස දිනය ලං කලා. එදාට අපි ඒගොල්ලන්ට අඩුපාඩු දේවල් ගැන හොයලා බලලා සම්පුර්ණ කරන්නත් බලාපොරොත්තු වෙනවා.  ඒ ගොල්ල කිව්ව හැටියට එයාලට අඩුපාඩු විදිහට දැනට තියෙන්නෙ,

01. ළමයින් සඳහා නිල ඇඳුමක්. (ළමුන් 90 ක් පමණ සඳහා)
02. පුස්තකාලයට පොත් (ලැයිස්තුවට අනුව 50/60 පමණ.)
03. රී චාජබල් විදුලි පන්දම් 6
04. බ්ලෙන්ඩර් 1
05. විදුලි ස්ත්‍රික්ක 3
06. වානේ කබඩ් 3
07. වැසිකිලි පද්දතියේ නඩත්තු කටයුතු.
08. තාප්පයේ නඩත්තු කටයුතු.
 
මේ වෙද්දි අපේ වාර්ෂික අරමුදලයි, මගේ හිතවත් බ්ලොග් කාර කාරියොයි එක්කහු වෙලා මෙයින් කොටසක් සම්පුර්ණ කරලා ඉවරයි. දැනට ඉතුරු වෙලා තියෙන්නෙ, තාප්පයේ නඩත්තු කටයුතු, වානේ කබඩ් දෙකක් සහ නිළ ඇඳුම් පමණයි. වැසිකිලි පද්ධතියේ නඩත්තු කටයුතු මේ වෙද්දි පුද්ගලික බැංකුවක් බාර අරගෙන තියෙනවා.
 
උදව් කරන්න පුලුවන් අය ඉන්නවා නම් cyberlipi@gmail.com එකට ලිපියක් එවලා වැඩි විස්තර ලබා ගන්න.
 
දැනට කියන්න මතක් වෙන්නෙ එච්චරයි. තව කියන්න දෙයක් තිබුනොත් කමෙන්ට් තීරුවේ ලියලා දාන්නම්.
 
මෙතෙක් කල් ඔබ සයිබර් යාය කියවූ රසිකයෙක් නම් ඔබට මේ බ්ලොග් අඩවිය ගැන හිතුනු දෙයක් කෙටියෙන් හෝ කියලා යන්න කියලා මම අද ඉල්ලා සිටිනවා.
 
ඔබ සැමගේ සියලු යහපත් පැතුම් ඉටු වේවා!
 
....................................
මීට කෙහෙල්කොටුවේ චූටි මහත්තයා, ටිකිරි, යුරෝ දෙකේ වීරයා සහ විදෙස් සිත්තරා.

2012/10/18

අද කාටුන් - 22 - කතන්දරගේ 1000 සහ ඇනෝලා !

දින කිහිපයකට පසුව ඔන්න නැවතත් කාටුන් එකක් පල කරන්න හිතුවා.

අද පලවෙන කාටුන් එක විදෙස් සිත්තරා ඇන්දේ කෙහෙල්කොටුවෙ ඉදලා නෙමේ. විදෙස් සිත්තරා මේ දවස් වල පැන්සල ඇල්ලීමේ නිවැරදි ක්‍රමය ගැන හදාරන්න විශේෂ පුහුණුවකට ගිහිල්ලා තියෙන්නෙ. මේ එහෙදි ඇඳලා, කෙහෙල්කොටුවට එවන ලද කාටුන් එකක්.

අද කාටුන් එකේ ඉන්න "පොර"ව අපි කව්රුත් දැන් හොඳට දන්නවා. ඒක නිසා වැඩි විස්තර කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ.

මෙන්න කාටුන් එක.

නිමිත්ත - kathandara.blogspot.com
ඔන්න ඔහොමලු උනේ. නැවත හමුවෙමු.

............................
-  මීට විදෙස් සිත්තරාගේ සිතුවම සමඟින් යුරෝ දෙකේ වීරයා.

2012/10/05

බුදු පියාණන් වහන්සේගේ සිනහවට ලක් වූ ඊරියට අවසානයේ සිදු වූයේ කුමක්ද? | දන්න කතාවක නොදන්න ඉතිරිය.....!

එක දවසක් බුදු පියාණන් වහන්සේ රජගහ නුවර පිඬුසිඟා වඩින විට මඩෙහි සිටින ඊරියක් දැක සිනා පහල කලා. බුදු රජාණන් වහන්සේලා විශේෂ කරුණකට හැර සිනා පහල කරන්නෙ නෑ. ඒ නිසා ආනන්ද හාමුදුරුවෝ අසා සිටිනවා සිනා පහල කිරීමට හේතුව. එතකොට උන්වහන්සේ කියා සිටිනවා මේ ඊරියක්ව සිටින්නෙ කාලයකට පෙර බ්‍රහ්ම ලෝකයේ සිටි ආයුශ ගෙවී ගිය බ්‍රහ්මයෙක් බව.

ඔය කතාව අපි ඕන තරම් අහලා ඇති බණ ගෙවල් වල දී, ධර්ම සාකච්ඡා වල දී.

මේ ලෝකයේ සත්වයින් නිර්වාණය දක්වා යන නොනිමි ගමනේදී දෙවියෙක්, බ්‍රහ්මයෙක් වෙලා හිටියත් ඊලග මොහොතෙ දී තමන්ට විය හැකි අතිශය සාධාරණ වූත් සාමාන්‍ය වූත් සංසිද්ධියක් විස්තර කරද්දි ඒකට උදාහරණයක් විදිහටයි ඔය කතාව බොහෝ වෙලාවට දේශකයන් හෝ දේශකයාණන් වහන්සේලා ගෙනහැර පාන්නෙ. නමුත් බොහෝ විට වෙන්නෙ "බ්‍රහ්මයෙක්ව සිට ඊරියක් වුනා" කියන කාරණාව ප්‍රකට කරලා කතාව අවසාන කරන එක.

අද මම කියන්නේ ඒ ඊරියට අන්තිමට මොකද වුනේ කියලා. ඒ කතාව හරිම දිග එකක්. මේ තියෙන්නෙ ඒ කතාව කෙටියෙන්.

මම මුලින් කියපු විදිහට ආනන්ද හාමුදුරුවෝ විචාරා සිටිනවා බුදු පියාණන් වහන්සේගෙන් සිනා පහල කිරීමට හේතුව. එතකොට බුදු පියාණන් වහන්සේ, "ආනන්දය, අර ඊරිය දක්නෙහිද? ඕ තොමෝ කකුසද බුදුන් වහන්සේ සමයෙහි එක් ආසන ශාලාවක් සමීපයෙහි කිකිළියක්ව විසුවාය. එකල්හී ඕ විදර්ශනා කර්මස්ථානය සඡ්ඡායනා කරන්නා වූ එක් යෝගාවචර භික්ෂුවකගේ ඒ ධර්ම සඡ්ඡායනාව අසා සිත පහදා ඉන් චුතව රාජ කුලයෙහි ඉපිද උබ්බරී නම් කුමාරිකාවක් වූවාය. ඕතොමො දිනක් වැසිකිලි වලක පණු සමූහයක් දැක පුලවක සඤ්ඤාව වඩා ප්‍රථම ධ්‍යානය උපදවා එයින් චුතව බ්‍රහ්මලෝකයේ උපන්න්නාය. එයින් චුතව භවයෙන් භවයට යන්නෙ ඌරු ජාතියේ උපන්නාය" යනුවෙන් විස්තර සහිතව වදාරා සිටිනවා.

ඒ විස්තර කිරීම අහලා ආනන්ද හාමුදුරුවෝ ඇතුලු එදා පිඬුසිඟා වැඩි බොහෝ භික්ෂුන් පිරිසක් සංවේගයට පැමිණෙනවා. බුදු පියාණන් වහන්සේත් ඒ කාරණාව ම නිමිත්ත කරගෙන එතැනම සිටිමින් ධර්මදේශනාවක් පවත්වනවා. ඒ ධර්ම දේශනාවෙන් එතන සිටි බොහෝ දෙනෙක් සෝවාන් ආදී මාර්ග ඵල වලට පැමිණෙනවා. අර ඊරියත් මේ ධර්ම දේශණයට සවන් දෙනවා.

ඒ සිදුවීම එහෙම අවසාන උනත් ඊරියක්ව සිට නැවත ධර්මය ශ්‍රවණය කරපු හින්දා ඊරිය රජ පවුලක උපත ලබනවා. ඊටත් පස්සෙ බරණැස් නුවර උපත ලබනවා. ඊටත් පස්සෙ සුප්පාරක පටුනේ අශ්ව වෙළෙන්දෙක්ගෙ ගෙදරක උපදිනවා. ඊටත් පස්සෙ කාවරිපටුනේ වෙළදාමෙන් ජීවත්වෙන දෙමව්පියන්ට දාව උපදිනවා. ඊ‍ටත් පස්සේ ලංකාවේ අනුරාධපුරයේ පෝසත් දෙමපියන්ට දරුවෙක් වෙනවා. ඊටත් පස්සෙ අනුරාධපුරයට දකුණින් තිබුනු හෝකන්ත කියලා ගමක සුමනා කියලා ගැණු ළමයෙක් වෙලා ඉපදෙනවා. කාලයාගේ අවෑමෙන් මිනිස්සු ඒ ගම අතඇරලා යද්දි මේ සුමනා ඇතුලු පවුලත් දීඝවාපියේ මහාමුනි කියන ගමට පදිංචියට යනවා.

මේ වෙද්දි බුදුපියාණන් වහන්සේගේ පිරිණිවන් පෑම සිදුවෙලා, මිහිඳු හිමියන් ලංකාවට වැඩම කරලත් කාලයක් ගත වෙලා. මේ වෙන කොට ලංකා රාජ්‍ය පාලනය කරන්නෙ දුටුගැමුණු රජතුමා. දුටුගැමුණු රජතුමාට හිටියා ලකුන්ටක අතිම්බර කියලා ඇමති කෙනෙක්. ඒ ඇමති රාජකාරී වැඩකට එනවා මහාමුණි ගමට. ගමට පැමිණි වෙලාවේ ඇමති මේ සුමනාව දැකලා ඇය ගැන පැහැදිලා ඇයව එක්කගෙන ගිහින් විවාහ කරගන්නවා.

දවසක් කෝටිපබ්බත මහා විහාරයේ මහා අනුල කියන රහතන්වහන්සේ පිඬුසිගා වඩිමින් යද්දි මේ සුමනා දැකලා අනිත් තෙරුන් වහන්සේලා අමතලා "සූකර පොතිකාව ලකුන්ටක අතිම්බර මහ ඇමතිගේ භාර්යාව බවට පත්වුනා" කියලා ප්‍රකාශ කර සිටිනවා. ඇමති බිරිඳක් වෙලත් තමන්ට "සුකර පෝතිකාව" කියලා ආමන්ත්‍රණය කරපු එක ගැන ඇය කල්පනා කරද්දි පෙර ජාති සිහිකරන්න පුලුවන් ජාතිස්මරණ ඥාණයෙන් සසර ගමන දැකලා ඒ ගැන කලකිරිලා ඇමතිගෙන් අවසර අරගෙන පැවදි වෙලා තිස්සමහාරාමයේ දී සතිපට්ඨාන සූත්‍රය අහලා සෝවාන් වෙනවා.

තවත් කාලයක් ගත වෙනවා. ඒ වෙද්දි දුටුගැමුණු රජතුමා එළාර රජතුමා සමඟ යුද්ධ කරලා ජයග්‍රහනය කරලා නැවත අනුරාධපුරයට ආපු කාලේ. ඒකාලේ දී ‍මේ සෝවාන් වුනු තෙරණිය නැවත දෙමව්පියන්ගේ ගම වෙන මුලින් කියපු හෝකන්ත ගමට වැඩම කරලා, ඒ ගමේ කල්ලක මහා විහාරයේ දී ආසිවිසෝපම සුත්‍ර ධර්මය අහලා රහත් භාවයට පත්වෙනවා.

තවත් කාලයක් ගත වුනාම මේ තෙරණිය පිරිණිවන් පෑමට තීරණය කරලා මේ මුලින් පවසපු තමන්ගේ අතීත චරිතය විස්තර වශයෙන් දක්වලා අවවාද කරලා පිරිණිවන් පානවා.

මෙයින් කියවෙන්නෙ භවයට ලොභ වෙන අපි නොයෙක් ජාතින්ට පැමිණෙමින් සසරෙහි ගමන් කරන හැටි. මේ කතාවෙන් අපට ගන්න තියෙන්නෙ භවය කෙරෙහි ඇති ලෝභය, මාර්ග ඥාණය වඩලා සහමුලින් නැති කරන්න ඕන කියන පණිවිඩය.

ලෝභය විසින් සත්වයන්ගේ භවය දිර්ඝ කරන ආකාරය ගැන සොයා බලත්වා! අපද දැනුවත් කරත්වා!!

ඔබ මේ ලිපිය කියවා ලබාගන්නා වූ යම්කිසි ශක්තියක් වේද, එය ඔබගේ නිර්වාණය දක්වාම නොනැසී පවතීවා. ඔබට පහසුම ප්‍රතිපදාවෙන් ගෞතම බුද්ධ ශාසනයේ දීම නිවන ම වේවා!!! 

.......................................
- බුද්ධි.

ප/ලි-
මම ධර්ම දේශකයෙක් නෙමෙයි. සප්ත මහා සාගරය වගේ ධර්මස්කන්ධය හමුවේ එහි පාවෙන කිරල ඇබයක් තරම් වත් නැති මම කවදාවත් ධර්මදේශකයෙක් වෙන්න හිතන්නෙවත් නෑ. නමුත් මේ වගේ ලිපි ලියන්න කාලයක ඉදලා බලාපොරොත්තුවක් තිබුනා. ඒ කාටවත් උපදේස සපයන්න නෙමේ. සාකච්ඡාවක් ගොඩනඟලා නොදන්න දේ දැනගන්න.

හැබැයි ඒ බලා‍පොරොත්තුව තිබුනේ මුඩුබිමකට වැටුනු බීජයක් වගේ. ඒ බීජය වියලී යන්න කලින් දළු දාලා ලියලලා එන්න පොහොර වුනේ හසිතගේ ආගිය කතා. ජලය වුනේ කස්සගේ ඔසී කතාවේ බුදු දහමින් බිඳක්. හිරු කිරණ වුනේ තනුජ ජයසුන්දරගේ බුද්ධ රශ්මි.

මේ තියෙන්නෙ මම ලියපු

2012/09/29

බෞද්ධයෝ වූ අප වාසනාවන්තයින් ද? අවාසනාවන්තයින් ද?

මිතුරනි, අද බිනර පුන් පොහොය දිනය.

බ්ලොග් අවකාශයේ දී නොදුටු ඔබත් මමත් දැන් මිතුරන් වී වසර තුනකට ආසන්න කාලයක්. ඇතැම් අය ෆේස්බුක් හරහාත්, ඇතැම් අය බ්ලොග් ලිපි හරහාත්, ඇතැම් අය දුරකතන හරහාත්, ඇතැම් අය දැක කතාබහ කිරීමෙනුත් දැන් කළණ මිතුරන් බවට පත් වෙලා.

කෙසේ වුවත් අපගේ ඒ හමුවීම් වලින් මා තේරුම් ගත් වටිනා ම කරුණ නම් අප තවමත් ඉම නොපෙනෙන සංසාර ගමන ගෙවා දමන එකම මිතුරු කැලක් බවයි. එයින් ව්‍යංගයෙන් කියවෙන්නෙ මෙතුවක් කාලයක් පුරා පහල වූ බුදුපියාණන් වහන්සේලා සියලු දෙනා අපට මඟ හැරී ගොස් ඇති බවයි. නැතිනම් උන්වහන්සේලා දේශනා කළ ධර්මය අවබෝධ කරගෙන සසර ගමන කෙළවර කරගෙන නැති බවයි.

ඉතින් අප වාසනාවන්තයෝ ද? අවාසනාවන්තයෝ ද?

කෙසේ නමුත් මේ මහා බද්‍ර කල්පයේ පහල වෙන බුදුන් වහන්සේලාගෙන් තව එක් නමක් අපව සසරින් එතෙර කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ මෛත්‍රී බුදුපියාණන් වහන්සේ. අපි නිවැරදිවම දන්නවා මෛත්‍රී බෝසතාණන් වහන්සේ මේ වන විටත් තමන්ගේ පාරමිතා සම්පූර්ණ කරලා තුසිත දිව්‍යලෝකයේ සංතුසිත දිව්‍යරාජයා ලෙස සුදුසු කාලය එළඹෙන තුරු එහි වැඩ හිඳිනවා කියලා.

ඉතින් අප වාසනාවන්තයෝ ද? අවාසනාවන්තයෝ ද?

මීට අවුරුදු හය හතකට කලින් මම කුරුලු හමුදාවේ ඉන්න කාලේ හිතාගෙන හිටියේ ක්‍රීඩකයෙක් හැටියට ලංකාවේ දස්කම් දක්වලා ආසියානු මලළ ක්‍රීඩා තරගය නියෝජනය කරන්න. අවුරුදු හතරක සැලැස්මක් ඇතිව ඉතාම කැපවීමෙන් පුහුණු වුනත් මට ඒ අවස්ථාව මඟ හැරුනා. ගිය සතියේ මම බ්ලොග් මිතුරෙකුට කිව්වා, එළඹෙන සති අන්තයේ මම කොළඹ පොත් ප්‍රදර්ශණය බලන්න එනවා කියලා. නමුත් නොවැලැක්විය හැකි හේතුවක් හින්දා ඒ අවස්ථාව මට මඟ ඇරුනා. ඒ වගේ අද්දැකීම් මට විතරක් නෙමේ ඔබටත් ඇති. අවුරුදු ගණනක සැලැස්මක් තබා, එළඹෙන තත්පරයේ දී අපේ බලාපොරොත්තු කීයක් නම් අපෙන් මඟ ඇරෙනව ද?

ඒ ආකාරයෙන් බලද්දි මේ බද්‍ර කල්පයේ කෙලවරේ බුද්ධත්වය ලබන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා නිවන් අවබෝධ කරගන්න බලාගෙන ඉන්නවා කියන්නෙ කෙතරම් මෝඩ කමක්ද? ඒ වගේ අවස්ථාවක් මඟ හැරෙන්න තියෙන ප්‍රතිශතය ගැන උපමාවක් පවා හිතාගන්න බෑ. කාටද ස්ථිර වශයෙන් කියන්න පුලුවන් අපි මෛත්‍රී බුදු පියාණන් පහල වෙද්දි නොරටක නොසිටීවි කියලා, ධර්මය වටහා ගන්න නොහැකි තරම් බුද්ධි මට්ටමක නොසිටීවි කියලා, නැතිනම් මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙලා නොසිටීවි, අපායේ, තිරිසන් ලෝකයක නොසිටීවි කියලා.

දැන් හොඳින් ම වැටහෙනවා ඇති අපි එහෙටත් නැතුව මෙහෙටත් නැතුව සංසාරේ අතරමං වෙලා කියලා. බ්ලොග් එකක් ලියාගෙන, කමෙන්ට් එකක් දමාගෙන "ආතල්" එකේ හිටියට අපි “පට්ට“ අසරණයි. ඔය කරුණ අපිට කලින් ගුණදාස කපුගේ  මහත්තයට වැටහුනු නිසා ද, "අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ......" කියලා තියෙන්නෙ?

ඉතින් අප වාසනාවන්තයෝ ද? අවාසනාවන්තයෝ ද?

මනෝරථපුරණී අටුවා පාඨයේ කියවෙන ආකාරයට පිළිසිඹියාපත් රහතුන් වශයෙන් වර්ෂ දහසක් ද, ශුෂ්ක විදර්ශක රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, අනාගාමින්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, සෝතාපන්නයන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද වශයෙන් පන්දහසක් අවුරුදු ප්‍රතිවේද ධර්මය පැවැත්වෙන බව කියවෙනවා.

පිළිසිඹියාපත් රහතුන්ගේ වශයෙන්ගේ වර්ෂ දහසක් ද, ෂඬභිඥා රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, ත්‍රිවිද්‍යා රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, ශුෂ්ක විදර්ශක රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද, පෘථග්ජන භික්ෂුන්ගේ වශයෙන් වර්ෂ දහසක් ද බුදු සසුන පවත්නා බව සම්පදානිය සුත්‍ර අටුවාවෙහි කියවෙනවා. ඉන් අනතුරුවත් පහණක් නිවෙන්නා සේ එකවර මෙලොවින් බුදුදහම අතුරුදහන් වෙන්නෙ නෑ. ඒ කෙසේ වුවත් දේව, බ්‍රහ්ම ලෝක වල තවත් කල්ප ගණනාවක් නිර්මල බුදු දහම නොනැසී පවතිනවා.

මේ ගෙවෙන්නෙ බුදු සසුනේ තුන් වන වර්ෂ දහසයි. මේ කාලය මනෝරථපුරණීයේ කියන අන්දමට අනාගාමින් සිටියහැකි කාලයක්. දීඝනීකායට්ඨ කතාවෙහි දැක්වෙන අන්දමට ත්‍රිවිධ්‍යා රහතුන් සිටිය හැකි කාලයක්.

ඒ හැරුනු කොට අප බුදුපියාණන් වහන්සේ ම සුභද්දයන් අරඹයා දේශණා කලේ, "සුභද්දය, මේ භික්ෂුන් මැනවින් වසයි නම් ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේය" යනුවෙන්.

ඉතින් මේ කාලයෙත් රහතුන් වහන්සේලා ලෝකය තුල ගිණිය නොහැකි තරම් ප්‍රමාණයක් වැඩ හිඳිනවා විය හැකියි. අනිත් අතට නිර්වාණ මාර්ගයට පිවිසිලා මේ සසර ගමන කෙලවර කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න පුද්ගලයන්ටත් මේ කාලයත් සුදුසු ම කාලයක්.

අප ගෞතම බුදු පියාණන් වහන්සේ පහල වූ කාලයත්, මීලගට බුද්ධත්වයට පත්වෙන මෛත්‍රී බුදුන්වහන්සේ බුදුවන කාලයත් අතරතුර ගෙවී යන කාලය හා සසදා බලන විට අප ගෞතම බුදුන් වහන්සේ මෙලොව පහල වෙලා තවම ගෙවී ඇත්තෙ ඇසිල්ලක තරම් කාලයක්. ඇත්ත වශයෙන් නම් ඒ සඳහා උපමාවක් පැවසිය නොහැකි තරම්. ඉතින් සද්ධර්මය ලඟා කර ගැනීමෙන් අපට අදත් අපගේ ජීවිතය අරුත්බර කර ගැනීමට හැකියාව තිබෙනවා.

ඉතින් අප වාසනාවන්තයෝ ද? අවාසනාවන්තයෝ ද?

අප වසර 80 කාලයක් මෙලොව තුල ජීවත්වනවා ය කියන්නෙ දින 29 000 පමණ කාලයක්. එයිනුත් දැන් ඇතමුන්ගේ අඩකට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇති. නමුත් අපට තව දින 15 000 කට ආසන්න කාලයක් ඉතිරි වී තිබෙනවා. ඒ කාලයවත් අපි නිවැරදිව පාවිච්චි කලොත් අපි වාසනාවන්තයෝ ද, අවාසනාවන්තයෝ ද කියලා අපටම මොනවට පැහැදිලි කරගැනීමට හැකි වේවි.

ඉතින් ඒ වෙනුවෙන් අප කල යුත්තෙ බෞද්ධයන් වූ අපගේ අග්‍ර ඵලය වන නිර්වාණ මාර්ගයට පිවිසීමයි.

මිතුරනි, ආමිස සහ ප්‍රතිපත්ති වශයෙන් පිහිටා සිට කුසල් රැස් කිරීමට අපට කාල නියමයක් නෑ. එය කිනම් කාලයකදී උනත් කළ හැකියි සහ කල යුතුයි. ඒ නිසාමයි බුදුන් වහන්සේලා නොමැති කාලවල දී පවා දිව්‍යලොක හිස් නොවෙන්නෙ. නමුත් ඒ කුසල බලයෙන් ලබන දේවත්වය හෝ බ්‍රහ්මත්වය නිසා කෙදිනකවත් ඔවුන්ට ඇරී ඇති අපාය දොරටු නම් වැසෙන්නේ නෑ. එසේ බලන කල බුද්ධාන්තර කාලයක් දේව, බ්‍රහ්ම, සක්විති රජුන් වෙමින්, සොහොන් බිම් පුරවමින් පැමිණෙන අප ගැන කුමන කතාද? ඒ නිසාමයි මහා විමාන තුල විරාජමාන වන දෙවියන්ටත්, කල්ප ගණනින් බ්‍රහ්ම ලෝක වල සුව විඳින බ්‍රහ්මයන්ටත්, මුලු දියතම පාලනය කරන සක්විති රජවරුනටත් වඩා දිළිදු පැලේ සිටින සෝවාන් පුද්ගලයා උතුම් වෙන්නෙ. සොවාන් වීමෙන් පමණයි අපෙන් පළමු වරට අපාය දොරටු වැසී යන්නෙ.

අනෙක් අතට අපේ අම්මා වෙමින්, තාත්තා වෙමින්, සහෝදර සහෝදරිය වෙමින් අපගේ මිතුරා වෙමින් ගණනින් කිව නොහැකි තරම් කාලයක් අප අතර ම හිදිමින් අවසානයේ අපට නිවන් මඟ කියා දුන් අපේ බුදු පියාණන්ට කළ හැකි හොඳම පුජාවත් මඟ පල ලබා නිවන් සාක්ෂාත් කරගැනීමම නොවේද?

ඉතින් බුද්ධිමත් වූ අපත් අදම අපාය දොරටු වසා ගැනීම සඳහා, ඇලිම්  - ගැටීම් අවම කර ගනිමින් උසස් වූ, ප්‍රීතිමත් වූ, සැපවත් වූ අරහත් මාර්ගයට පිවිසීමේ පලමු පියවර ලෙස, අපගේ සිත සමනය කර ගනිමු. එය කල හැකි පලමු හා සාර්ථකම පියවර වන්නෙ භාවනාවයි.

ආධුනිකයන් වූ අපට චතුර් ආරක්ෂක භාවනා ලෙස හඳුන්වන බුද්ධානුස්සතිය, මෛත්‍රී භාවනාව, පිළිකුල් භාවනාව සහ මරණානුස්සතිය ප්‍රගුණ කළ හැකිය.

දානය, සීලය යම් ප්‍රමාණයකින් ප්‍රගුණ කර සිටියත් වර්තමානයේ භාවනාව ප්‍රගුණ කිරීම බොහෝ විට අපගෙන් මඟ හැරී යන්නක්.

මිතුරනි, මේ පහලින් දැක්වෙන්නෙ මගේ කලණ මිතුරු චන්දන බණ්ඩාර විසින් සම්පාදනය කරන ලද බුද්ධානුස්සතී භාවනාව හෙවත් මහානුභාව සම්පන්න බුදුගුණ සිහිකිරීමේ භාවනාව ආධුනික අපට පහසු ලෙස කළ හැකි ආකාරය ගැන ලියැවුනු පොතක්.

ඉතින් මේ උතුම් පොහෝ දින මේ පොත ඔබත් ලබාගන්න. අද ම අපගේ බුදු පියාණන් දෙශණා කළ නිවන්මඟ සාක්ෂාත් කරගැනීමට පළමු පියවර තබන්න.

Download
භාවනාව හා සබැඳි සියලු විස්තර මේ පොතේ අන්තර්ගතයි.

මෙහි දැක්වෙන නව අරහාදී බුදු ගුණ සවිස්තරව දැන ගැනීමටත්, අප ශාස්තෘන් වහන්සේ පිළිබඳවත්, උන් වහන්සේ දෙසූ ධර්මය පිළිබදවත්, උන්වහන්සේගේ පැවදි ශ්‍රාවකයින්ගේ ආනුභාවය දැන ගැනීම පිණිසත් රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ රචනා කරන ලද පොත් අතරින් එකක් වන "සුවිසි මහා ගුණය" පරිශීලනය කරන්න.  භාවනාව ගැන තවත් තොරතුරු තනූජ ජයසුන්දර මිතුරාගේ මෙම ලිපි පෙලින් දැන ගන්න.

බෞද්ධයන් වන අප තෙරුවන් හොඳින් හැඳිනගෙන සිටිය යුතුයි. තෙරුවන් හැඳින ගැනීමට මෙම සුවිසි ගුණය හැර වෙන ක්‍රමයක් නැහැ. මේ ගුණ සූවිස්ස දැනගෙන මැනවින් තෙරුවන් හැඳිනගත් පුද්ගලයාට කිසි කලෙක වෙනස් නොවෙන, කිසිවෙකුට උපායකිනුත් වෙනස් කළ නොහැකි අචල ප්‍රසාදයක් තුණුරුවන් කෙරෙහි ඇතිවෙනවා. මේවා හරිහැටි නොදැන තුණුරුවන් විවේචනයෙන් පුද්ගලයන් කර ගන්නා අකුසලයේ තරම මෙතෙකැයි කියන්න බෑ. මේ ගුණ සූවිස්ස නොදන්නෙ නම් අපි නාමික බෞද්ධයන් පමණයි!

ගෞතම බුද්ධ සාසනයේ දීම සසර ගමන අවසන් කිරීමට පළමු පියවර අපි අද ම තබමු. පෙර කුසල් හා පාරමී පුරා තිබුනහොත් ඔබත් මේ භවයේ දී අරමුණ කරා ලඟා වේවි. නැතිනම් මෙම පියවර ඉදිරියේ දී පාරමිතා සම්පූර්ණ කරගැනීමට ඔබට ඉවහල් වේවි.

ඉතින් අප වාසනාවන්තයෝ ද? අවාසනාවන්තයෝ ද?

අදට ලිපිය අවසානයි.

ප්‍රිය මිතුරනි, ඔබ මේ ලිපිය කියවා ලබාගන්නා වූ යම්කිසි ශක්තියක් වේද, එය ඔබගේ නිර්වාණය දක්වාම නොනැසී පවතීවා. ඔබට පහසුම ප්‍රතිපදාවෙන් ගෞතම බුද්ධ ශාසනයේ දීම නිවන ම වේවා!

..........................................
- බුද්ධි.

2012/09/17

ළෝඛයේ ශ්‍රේෂ්ඨ භළ්ළෝ සහ තවත් කතා | මතු යහපත පතන බ්ලොග් ලියන කියවන පුරුෂ පක්ෂය උදෙසා !

" ඒ බල්ලා පුදුම ගතිගුණ තියෙන බල්ලෙක් ඈ........." කියාගෙන ස්වාමියා අතට ගත්තු හැලපෙ ඔතලා තිබුනු කැන්ද කොලේ ගලවන්න ගත්තා.

එදා අපි කතා වෙමින් උන්නෙ ලෝකෙ හිටපු ශ්‍රේෂ්ඨතම බල්ලො ගැන.  හැලප කමින් ඉන්න ස්වාමියා උපතින් ම සතුන් ගැන ඇල්ම තියෙන කෙනෙක්. එයා කුරුල්ලන්ටත් හෙන ආදරෙයි. ලස්සන කුරුල්ලෙක් ඉන්නවා කිව්වොත් ‍ලෝකෙ ගැට්ටට ම හරි යනවා ඌව හොයාගෙන. මේ ස්වාමියාගේ බිරිඳත්, අපිත් එක්කම කතාවට අගුල්පත් තියමින් ලඟ ලඟම හිටියා. අපි කියන මේ ස්වාමියාගේ බිරිඳ බ්ලොග් ලියන්නියක්. එයා හරිම ස්වාධීන අදහස් තියෙන කෙනෙක්. යමක් කියන්ඩ තියෙනව නං ඒක කියනවා ආය මහ ඒජන්තට හරි. ඒ වගේමයි පතිභක්තියත්.

අපේ මිතුදම ආරම්භ වුනේ මගේ බ්ලොග් එකේ එතුමියගේ කමෙන්ට් වැටුනට පස්සෙ. මීට අවුරුදු තුනකට කලින් අගෝස්තු පොත් ‍ප්‍රදර්ශනේ දවසේ, ඒ කාලේ නැවුම් බ්ලොග්කරුවෝ ටික දෙනෙක් BMICH එකේ දී මුණ ගැහුනා. එතනට මෙතුමියයි, එතුමියගේ ස්වාමියයි, ඒ කියන්නෙ මේ හැලප කමින් කතාකරන එක්කෙනයි, ඒ ගොල්ලන්ගේ බිනරමලියි ඇවිල්ලා හිටියා. එතනදී වෙච්ච කතාවෙනුයි අපි දැනගත්තෙ මේ ඇවිල්ලා මැරියන්ලගේ අල්ලපු වැටේ අයයි කියලා.

ඒ කිව්වෙ මේ ස්වාමියයි, අපේ මැරියන්ලගේ අක්කලයි ඒකාලේ දන්න අයලු. පොඩි කාලේ සෙල්ලම් කරද්දි මේ ස්වාමියලා කරක් නොගහපු තැනක් නැලූ. බලාගෙන යද්දි මැරියන්ලයි, මේගොල්ලයි එක ගමේ දෙපැත්තෙ.

ඔහොම අපේ මිතුදම මෙව්වා වුනාට පස්සෙ අපි ඒ ගොල්ලන්ගෙ ගෙදර යනවා, ඒ ගොල්ල අපේ ගෙදර එනවා. ඇයි ඉතින් දන්න කියන අයනෙ දැන්. ඔන්න එකෝමත් එක දවසක ඒ ගොල්ලන් අපේ ගෙදර ඇවිල්ලා හැලප කකා ඉද්දි තමා අර බලු කතාව ඇදිලා ආවේ.

මැරියන්ලගේ මහගෙදර ලග තියෙන අසල්වැසි ගෙදරක ඉන්නවා හුරුබුහුටි බැල්ලි පැටියෙක්. ඌ කවදාවත් මාව දැකලා නැති වුනත් මම එහෙ ගිය මුල්ම දවසෙම මෙයා ඇවිල්ලා ඇඟේ දැවටෙන්න ගත්තා. මම මාස ගාණකින් එහෙ ගියත් එයා කොහොම හරි ඒ බව දැනගෙන මාව හොයාගෙන මැරියන්ලගේ දිහා එනවා. ඉතින් ලොකේ හිටපු ශ්‍රෙෂ්ඨ බල්ලො ගැන කතාවෙද්දි මේ බැල්ලි පැටියාගේ කතාව ඇදිලා එන එක අහන්න දෙයක් නෑනේ.

ඒ ගොල්ල තීරණය කලේ සංසාර ගමනේ පරණ මතකයක් හන්දා බැල්ලි පැටියා මාව හොයාගෙන එනවා ඇති කියලා. ඒකට මම එකඟ වුනත්, ඇමරිකන් ජනාධිපති තුමා වගේ මම පපුවට අත තියලා ඉතාම වගකීමෙන් කිව්වා "එහෙමමත් නෙමේ අනේ, හදවතේ කරුණාව තියෙනව නං ඕනෙම කෙනෙක්ට, ඕනෙම සතෙක්ට ඒ බව දැනෙනවා කියලා".

ඕක කිව්ව හැටියේ තමා අර ස්වාමියා කේක් කෑල්ලත් එක්ක කාපු කෙසෙල් ගෙඩියේ පොත්ත පැත්තකින් තියලා, හැලපේ අතට අරං පුටුවෙ හරි බරි ගැහිලා මෙහෙම කිව්වෙ.

"ඔයා දන්න තරම තමා. එහෙනං අපේ ගෙදර හිටපු බල්ලා කාටක්කත් කීකරු නෑනේ මට විතර. ඔය හදවතේ කරුණාව තියෙන කාටවත් ඌව නමා ගන්න බැරි වුනා, නේද අනේ......."

"ඒක තමා....." අපේ ජනප්‍රිය බ්ලොග්කාරිය අගුල්පත් තිබ්බා. ඒකෙන් උද්දාමයට පත් වෙච්ච පාර තමා ස්වාමියා,

" ඒ බල්ලා පුදුම ගතිගුණ තියෙන බල්ලෙක් ඈ........" කියාගෙන කතාව පටන් ගත්තෙ.

ඒ කතාව පුරාම කියවුනේ ඒ බල්ලගේ තිබුනු පුදුම හිතෙන ගතිගුණ ගැන. මේ කතාව අතරතුර අපි අහපු හරස් ප්‍රශ්ණ, හූමිටි තැබිලි වගේ මුඛ්‍ය තේමාවට අදාල නැති ඔක්කොම කෑලි කපලා දැම්මොත් මෙහෙමයි කතාව එන්නෙ.

අපේ කතා නායකයා සත්තුන්ට ආදරේ හින්දම බල්ලෙක් හදන්න අරගෙන තියෙනවා. ඒ බල්ල වැඩියෙන්ම කීකරුත් එයාටමලු. ඉතින් පොර වැඩට ගිය අතරතුර දී මොකක් හරි දඩයමක් කලොත් එයා වැඩට ගිහිල්ලා එනකල් ම දඩයම කකුල් දෙක ගාව තියාගෙන ඉන්නවලු. මෙයා ඇවිදින් බල්ලව පැසසුවට පස්සෙලු දඩයම පැත්තකට දාන්නෙ. ඕනෙම ජාතියෙ අමුත්තෙකුට කිසිම හේතුවක් හන්දා සාලේ පැත්ත පලාතෙ සිමෙන්ති පාගන්න දෙන්නෑලු, එයාගේ අවසරයකින් තොරව. එහෙම ආවත් බල්ලා හොඳට ඇහැ ගහගෙනලු ඉන්නෙ මෙයාට අමුත්තා අනතුරක් කරයි‍දෝ කියලා. දවසක් යාලුවෙක් ඇවිල්ලා විහිලුවට කෑගහලා ගහන්ඩ ගිය හැටියේ බල්ලා පැනලා යාලුවගේ කකුලෙන් කෑල්ලක් කඩා ගත්තලු බඩගිනි වුනාම පස්සෙ කන්ඩ කියලා. ඔය වගේ වීර ක්‍රියා ගොඩකින් එයාගේ ජීවිත කතාව පිරීගෙන එද්දි තමා දවසක් හරි වැඩක් වෙලා තියෙන්නෙ.

ඒ වෙන මුකුත් නෙමේලු. මෙයා වැඩට ගිය අතරතුර දවාලක එයාගේ තාත්තා මොකද්දෝ අපබ්‍රන්ස වැඩක් කරන්න ගිහින්, බල්ලා තාත්තගේ අතෙනුත් කෑල්ලක් කඩා ගෙනලු බඩගිනි වුනාම කන්නයි කියලා. හැබැයි ඒක බල්ලට වුනු අත්වැරැද්දක්ලු. මොකද මෙයාට වගේ ම බල්ලා ලෙංගතු සීමිත පිරිසෙන් තවත් එක්කෙනෙක්ලු තාත්තත්. ඒකට තාත්තට වගේ ම බල්ලටත් හරිම අප්සෙට් ලු. ඒත් අකමැත්තෙන් හරි බල්ලව කූඩුවට දාන්න කට්ටිය එකඟ වුනාලු. තාත්තාත් බේත් දාගෙන ඇවිල්ලා "මේ බලන්ඩ ඔයා මට කරපු දේ" කියලා බල්ලට අත පෙන්නුවලු. බල්ලට ඒකට තවත් අප්සෙට් වුනාලු. බල්ලා කන්නෙ නැතුව අතඇරියලු. එයා කරපු වැඩේ ගැන එයා හොඳටම පසුතැවිලි වෙන බව දිගටම පෙන්නන්න ගත්තලු. පස්සෙ මෙයා කූඩුවෙන් වත් එලියට ආවේ නෑලු. අන්තිමේ මෙයා හොඳටම ලෙඩ වුනාලු. කෑම කෑමත් අත්ඇරලම දැම්මලු. ටික දවසක් ඔහොම ගතවුනාලු. දවසක් උදේක බලද්දි අර අප්සෙට් එකෙන්ම මෙයා නැති වෙලාලු!

ඔන්න ඔය විදිහට එක හුස්මට කතාව කියලා දමාපු අපේ කතානායක තැන බොහොම උදාර ලීලාවෙන් අපි දිහා බැලුවා. ඇයි ඉතින් එයාට ඉදලා තියෙන්නෙ කොච්චර උදාර ගතිගුණ තියෙන බල්ලෙක් ද?

පස්සෙ එයා අර හැලප කෑල්ලෙ අන්තිම කෑල්ලත් කටේ දමා ගත්තා. අපි ඔක්කෝමලා තත්පර ගණනාවක් නිහඬව මේ ගැන කල්පනා කලා. ඇත්තටම තමන් කරපු දෙයක් ගැන මෙච්චර පසුතැවුනු බල්ලෙක් ගැන අපි ඇහැව්වමයි.

හැබැයි ඔය සිතුවිල්ල එච්චර කාලයක් අල්ලලා හිටියේ නෑ. ඒ වෙන මුකුත් හින්දා නෙමේ. එයාගේ බිරිඳ, ඒ කියන්නෙ ස්වාධීන අදහස් තියෙන, නියම පතිභක්තියක් තියෙන අපේ බ්ලොග්කාරිය, එයාගේ ස්වාමියාට අමතක වෙලා තිබුනු මේ බලු කතාවේ වැදගත් කොටසක් මතක් කරලා දීපු හින්දා. ඒක වුනේ ‍මෙන්න මෙහෙම.

ඕගොල්ලන්ට වඩා හොඳට කතාව පැහැදිලි වෙන්න මම ඒ ටික ආයිමත් කියන්නම්.

‘කො‍හොමහරි අන්තිමේදී මෙයා කූඩුවෙන් වත් එලියට ආවේ නෑ. එයා හොඳටම ලෙඩ වුනා. කෑම කෑමත් අත්ඇරලම දැම්මා. ටික දවසක් ඔහොම ගතවුනා. දවසක් උදේක බලද්දි අර අප්සෙට් එකෙන්ම මෙයා නැති වෙලා." ස්වාමියා කිව්වා.

එතකොටම අපේ බ්ලොග්කාරී නේද, ‘‘නැ නේද ඒයි. ඌ මැරුනේ ඒ අප්සෙට් එකටද? මම හිතුවෙ අර බල්ලොත් එක්ක මරාගෙන පිටගැස්මට ඇවිල්ලා තිබුනු තුවාලේ හන්දයි කියලා.“ කිව්වා.

කතාව ඉවරයි. මේ කතාව පුංචි උනත් ගන්න තියෙන ආදර්ශ එමටයි. බොහෝ දෙනාගේ පහන් සංවේගය උදෙසා මම මේ කතාව ලියන්න හිතුවෙත් ඒකයි. හැබැයි ඒ ආදර්ශ ඔක්කොම එකට හිරවෙලා පැටලිලා තියෙන්නෙ.

ඕගොල්ලන්ට පුලුවන් නම් ඕක ලිහලා කරලා ගන්ඩ තියෙන ආදර්ශක් ගන්ඩලා.

................................................
කලකට පස්සේ - වෙලකට බැස්සේ
- මීට යුරෝ දෙකේ වීරයා.

ප/ලි -
ඇත්තම කියනවා නම් මමත් ඔය කතාවෙන් කෑල්ලක් කපලා දැම්මා. අච්චර ලස්සනට කතාව කියලා අවසාන වුනාම අපේ බ්ලොග්කාරී කිව්වනේ, ‘‘නැ නේද ඒයි. ඌ මැරුනේ ඒ අප්සෙට් එකටද? මම හිතුවෙ අර බල්ලොත් එක්ක මරාගෙන පිටගැස්මට ඇවිල්ලා තිබුනු තුවාලේ හන්දයි කියලා.“කියලා. ඒ වෙලාවේ අපේ කතානායක තැන මොනවද දන්නව ද කිව්වෙ, “ඹව් තුවාලෙකුත් නං තිබුනා තමා“ කියලා. ඒක කියපු ස්වරෙවත්, ඒ  අවස්ථාවේ මිනිහා පත් වෙච්ච ඉරණම ගැනවත් නියම තතු මට වචනෙට පෙරලගන්න තේරෙන්නෙ නෑ. අනිත් අතට කාටද කියන්න පුලුවන් පිරිමි අපට ජිවිතේ කවදාක හරි ඔයවගේ අවස්ථාවකට මුණ දෙන්න ලැබෙන්නෙ නෑ මයි කියලා. ඒක නිසා ඒ කෑල්ලත් කතාවට ඇතුලත් කරනවට වඩා හොඳ නැද්ද මේ විදිහට කතාව ඉවර කරලා මගේ බ්ලොග් රසිකයින්ට හිතන්ඩ යමක් ඉතුරු කරන එක තමන්ගේ අනාගතේ ගැන.

ප/ප/ලි -
ගිය සතියෙ දවසක සාදයකට නැවත අපි ඒ ගොල්ලන්ගේ ගෙදර ගියා. ඒ වෙලාවේ තමා කාලයේ වැලි තලාවෙන් වැසී යමින් තිබුනු මේ කතාව මට මතක් වුනේ. හැබැයි ඊට කලින් දවසක අපි හම්බුනු වෙලාවෙයි සමස්ත බ්ලොග් පාඨකයන්ගේ මතු යහපත තකා උක්ත කතාව දාන්න මම නිසි අවසර අරගත්තෙ.

2012/09/14

සොයා දෙන්න... | සයිබර් යාය සමාජ සත්කාර


 මීට තරු ඇතුලු මිතුරු කැල.
තොරතුරු සොයා ගත්තෙ facebook මගිනි.


2012/08/15

කැප්රෝල් පන්හිදෙහි කතා වත්ථුව | පින්වත් මදනායක මිතුර, නුඹගේ මැජික්මය පන්හිද කෙරෙහි අනුකම්පාවෙන් අපි මෙහි පැමිණියෙමු.

වද එක්තරා පසල් දනව්වෙක උපායෙහි දක්ෂ නොවූ සිය පුත්‍ර තෙමේ, උපායෙහි කෙල පැමිණවීම කරනු නිසා "ස්ථානෝචිත ප්‍රාඥාව" නැමැති මාහාර්ඝ මිණි පළගේ ආනුභාව දක්වා මෙම කතා වස්තුව පියෙකු විසින් සිය පුත්‍රයා අරභයා දක්වන ලදහ.

මේ පුත්‍ර තෙමේ උපායෙහි දක්ෂයෙක් නොවීය. දිනක් පුත්‍රයා බණවා, ''පින්වත් පුතනුවණි, මිණි පලඟක් බදු වූ ස්ථානෝචිත ප්‍රාඥාව වනාහී දිව්‍යායුධයක් මෙන් ද, ප්‍රහාර මඟහරිනා පලිහක් බඳු වු ද, කල්පයක් හෝ කහවනු එක් රැස් කොට මිල දී ගත නොහෙන ආභරණයක් මෙන් ද වටනා සාස්ත්‍රයක් වන්නේ ය. එහෙයින් ස්ථානෝචිත ප්‍රඥාවෙන් කෙල පැමිණිම වනාහී මේ විපරීත යුගයේ දිවි ගෙවන්නා වූ සකල ලෝක වාසීන් ම ප්‍රගුණ කල යුතු සාස්ත්‍රයක් නොවේදැ"යි ඉකුත් වත් දක්වාලුයේය.

යටගිය දවස බරණැස් නුවර ​රජීව නම් ගාන්ධිවරයෙක් දැහැමෙන් සෙමෙන් රාජ්‍ය කරන සමයෙහි, අසල ලංකාදීපයෙහි අශ්ඨවාපී නම් පසල් දනව්වෙක පින්වත් පුත් කුමරෙක් උපන්නේ, උපන් මොහොතේ තාරුකා රූපීන්ගේ පිහිටීම ​බලා දෛවඥයන් විසින් එම පුත් කුමරාට ''බුද්ධිඝෝෂ'' යැයි නම් තැබීය.

මේ පින්වත් පුත් කුමරා නිසි විය එලැඹි කල දෙමාපියන් විසින් පසල් දනව්වෙ පිහිටි කණිෂ්ඨ තක්සලාවය, මහා තක්සලාවය, ජාතික තක්සලාවය යන තුන්තරා තක්සලාවෙන් එක්තරා තක්සලාවකට භාර කොට ප්‍රධාන ආචාරීන් බණවා මෙසේ කියන්නාහු, ''පින්වත් ඇඳුරුතුමෙනි, මේ අපගේ එකම පුත් කුමරා වන්නේය. මොහු වූ කලී ඇසිල්ලක් තරම් කාලයක් හෝ එක්තරා තැනෙක තබා ගත නොහැකි කොල්ලෙක් වන්නේය. එපමණකුදු නොවන්නේය, මේ පෝතක තෙම් ස්ථානොචිත ප්‍රඥාවෙන් මුහුකුරා ගොස් ඇත්තෙක් සේ කුමක් හෝ දණ්ඩණයක් නියම කළ කල්හී අප බණවා, මෙසේ වූ කාරණාවක් නිසා එසේ කලෙමි. එසේ නොකලේ වී නම් මාගේ අවසානය වන්නේයැ, අහවල් මානවයා කරණ කොට ගෙන මෙබන්දක් වීයෑ, ඒ කාරණාවට මාගේ අනුදැනුමක් නැතැ"යි හේතු කාරණා පල කොට දණ්ඩණය මග හරින්නේය. ඇඳුරුතුමනි, කිනම් හෝ දණ්ඩනයක් පමුණුවා මුන් අප වෙත හික්මුවාලුව මැනව"යි පෝතක කුමරු දෙස බල බලා දෙමාපියෝ සිය ප්‍රත්‍රයාගේ වත් දක්වා ලූයේය.

යට කී කුමරා ද එසේ මෙසේ එකෙක් නොවන්නේය. උන් තක්සලාවෙන් ශිල්ප උගෙන නිවසට එන්නෙ, නිවසේ තිබූ දෙයක් කෑවායින්, නොකෑවායින් චාලි නම් වූ සිටුතුමාගේ රඹ වනයට වන්නේය. උන් හා උගේ සහචරයින් එකක් වූ රඹ වනය දෙකක් කරන්නේ ‍කෙසේ ද යත්, ඔවුනොවුන් රජුන් හා රුපුන් ලෙස පිල් දෙකකට බෙදී, රුපුන් ලෙස වෙස් ගත්තෝ "රාජ්‍ය හෝ දුන මැනව, යුද්ධය හෝ කළ මැනවයි" දූර්ථයන් අත පත් යවයි. ඉදින් රජුන් ලෙස වෙස් ගත්තවුන් "රාජ්‍ය දීමක් නැතැ, යුධ වදින මෝ වෙමු" යි පෙරලා පත් යවා චාලි සිටුතුමාගේ රඹ කදන් හා සටන් වදින්නෝය. කැකුලු රඹ කැන් මත එල්ලීගෙන, පැද්දී ගොස් අනෙකුන්ගේ කරට පැන උන් මඩවාලුය. වියලී ගොස් ඇති රඹ පත්‍ර ගෙන සතුරන් සේ වෙස් ගත්තවුන් රඹ කඳන් වල පිටිතල හයා බැඳලන්නාහුය. ඔවුන්ගේ ඉණ රැදි කැටපෝලය නම් උපරණයක් ගෙන සශ්‍රීක රඹ පත්‍රයන්ට එල්ල කොට ටැකැ යන නාද අනුනාද පැණ නැගී රඹ පත්‍රයන් සිදුරු විසිදුරු වන සේ කැට මුගුරින් ගැහැට කරන්නෝය. මෙසේ මුලු සවස් යාමයම සකල වූ රඔ වනයේ සම තැන් විසම කෙරෙමින් මහත්වු කෝලාහල පවත්වන්නේය. එතකිනුත් නොනැවතී බුද්ධිඝෝෂයෝ හා උන්ගේ සහචරයින්ගේ වත් පිලිවෙත් කෙසේ දක්වන්නෙ දැයි කිය‍තොත් එය යට කී කතාව හා සර්වප්‍රකාරයෙන් සමාන වන්නේය.

මෙසේ ගත වූ එක්තරා දිනෙක බුද්ධිඝෝෂයෝ ඇවිටිල්ලෙන් කුලුගන්වනු ලැබු සිත් ඇතිව සිය තක්සලාවේ යහලුවෙකු වන ඥාණතිස්සයන්ගේ පුස්ථකයේ පිටකවරයක් අරභයා සබ්මැරීන් නම් යානාවක් සිතුවමින් අලංකාර කරමින් සිටිය දී, එක්වරම "චටාස්" යැයි නාද අනුනාද පැන නගින සේ මහත් වූ ශබ්දයක් තක්සලාව සිසාරා රාව ප්‍රතිරාව නැංවීය. බුද්ධිඝෝෂයන්ට මේ ශබ්දය අරභයා කුහුලක් උපන්නේ සිය යහලු ඥාණතිස්සයන් බණවා, "මිත්‍රය ඥාණතිස්ස, යම්කිසි නුහුරු ශබ්දයක් මාගේ දකුණු කර්ණභේරීය සිදුරු කරගෙන වමින් පිටවී මා තිගැස්සවීයැ, ඒ කිමෙක්දැයි කුහුලින් මගේ සිත පසුවෙතැ" යි විචාලේය.

එවිට ඥාණතිස්සයෝ "වන්නාටය, ඒ වනාහි අරුම පුදුම කෙලි භාණ්ඩක්යැ, අපගේ පංතියට යාබද පන්තියේ මදනායක නම් කුල පුත්‍රයා මැජික්මය පන්හිදක් රැගෙන විත් ඇතැ, එයින් අකුරු කිරීම උගහටය. එය පවත් වන්නෙ අනුන් රැවටීමටය. යම් කිසිවෙක් ඒ වූ මැජික්මය පන්හිදෙන් අකුරු කිරීමට පන්හිදෙ හි කොපුව හැරපියාවේද, ඒ තුලින් ගිනි පුලිඟුවක් පැණ නැගී එතකිනුත් නොනැවතී මහත් වූ ශබ්දයක් ද පැන නගින්නේයැ"යි පිලිවදන් දුන්නේය.

"කිමෙක්ද ඥාණ තිස්සය, අකුරු කරන පන්හිදෙන් ගිනිත්, ශබ්දයත් පිටවන්නේදැ?" යි බුද්ධිඝෝෂයෝ මහත් විමතියෙන් පෙරලා ප්‍රශ්ණ කරන කල්හී ඥාණතිස්සයෝ, "එසේය, එසේය යහලුව, එය වනාහී උපායෙකි. යම් කිසිවෙක් පන්හිදෙන් අකුරු කරමියි සිතා එහි කොපුව අඳින්නේ ද, එකෙනෙහි ම මහත් වීරීයෙන් සිරකොට ඇති විභව ශක්තියෙන් පොහොසත් යවුලක්, මුලින් යවා ඇති කැප්රෝල් නම් ගිණි බෙහෙතින් කරනා ලද පටියක නියම තැනට අසුරක් ගසන ඇසිල්ලකින් වැදීයයි. එකෙනෙහි ඇතිවන ඝට්ටණය කරණ කොට මෙසේ ගිණි පුලිගුත්, ශබ්දයත් පවත්වන්නෙ නොවේදැ"යි කැප්රෝල් පන්හිදේ ආදීනව දක්වාලීය.

එකලිහී බුද්ධිඝෝෂයෝ "මෙය වනාහී කැප්රෝල් පිස්තෝලයේ ම වැඩි දියුණු කල උපකරණකැ"යි සිය යහලු ඥාණතිස්සයන්ට බණවා, මුලින් කී මැජික්මය පන්හිද දැක බලා ගෙන, දින කිහිපයකට එය ඉල්ලා ගනිමියි, හෙටින් එළබෙන නිවාඩු දිනයන් හී එයින් ශිල්ප දක්වමියි අදිටන් කොට ගෙන මදනායකයන් බැහැදැකීමට එදින විවේක කාලයේ සුදුසුයැයි ඥාණතිස්සයන්ට යෝජනා දක්වන්නෙ, ඥාණතිස්සයන් ද එය වහා ස්ථිර කොට විවේක සමය පැමිණෙන තුරු සිය හස්ථයේ අංගුලි ගණින්නට විය.

තවත් නොබෝ වෙලාවකින් "ටැකෑන්, ටැකෑන්, ටැකෑන්" යන තක්සලාවේ ඝාණ්ඨාර හඬින් වාතලය කම්පා කරවා විවේක සමය උදාවිය. දහසක් වූ තක්සලා සිසුන් සෙල්ලමටය, ආහාරයට, අතපසු වූ අභ්‍යාස කිරීමය යන රාජකාරී සඳහා සුදානම් වන්නේ බුද්ධිඝෝෂයෝද, ඥාණතිස්සයෝද කලින් කතිකා කරගත් සේ මදනායක නම් කුළ පුත්‍රයා බැහැ දැකීමට පිටවීය.

එකල්හී මදනායකයන් සිය මැණියන් විසින් පිළියෙල කර දුන් දවල් බතට වග කියමින් සිය අසන මස්ථකානූරූඩව සිටින නියාව දැක යහලු දෙබෑයන් තුටුපහටුව පැමිණ එකත්පවස වාඩිවී, සිය කතිකාව ආරම්භ කරනු වස්, "පින්වත් මදනායක මිතුර, නුඹගේ මැජික්මය පන්හිද කෙරෙහි අනුකම්පාවෙන් අපි මෙහි පැමිණියෙමු. අපට එය පෙන්වාලුව මැනවයි" ආදී වූ චාටු බස් දෙඩීය.

එවිට මදනාකයෝ, "වන්නාටය! මැජික්මය පන්හිද වනාහි ඉතා දුර්ලභ එකකි. එය වෙන්ඩ මයිලනුවන් විසින් මාගේ වැඩිමහලු සහෝදරියට පත්කඩක් දීම් ආදී දූර්ථ රාජකාරී උදෙසා අත්ලසක් සේ දින කිහිපයකට දුන් උපකරණයකැ. ‍වගකීම් විරහිත නුඹලා වැන්නවුන්ට එය තරම් නොවේයැ"යි වහසි බස් දෙඩීය.

බුද්ධිඝෝෂයෝ වනාහී උපායෙහි දක්ෂයෙකි. කුඩා කලම ස්ථානෝචිත ප්‍රඥ්ඥාවේ කෙල පැමිණියෙකි. ඉදින් ඔහු උපායක් කල්පනා කරන්නෙ මෙසේ සිතීය.

"මා හට මෙය දින කිහිපයකට ලබා ගන්නට නම්, මෝ හට හුවමාරුවට යමක් දිය යුතු වේ. නමුත් මෙවැන්නක් හුවමාරුවට ඇති වටනා දෙයක් මා සන්තකයේ නැතැ. එහෙත් ඇති දෙයින් උපරිම ප්‍රයෝජන ගනිමියි, නැති ගුණ වයමි"යි අධිෂ්ඨානයෙන් ඔද වැඩී ගියෙන් සිය සහක්කුවෙන් පතෙහි ලියනා විට දී ගෙවි ගිය පසු තුල් මාරුකල හැකි පැන්සල නම් උපරණක් ගතපීය.

"පින්තවත් මදනායකය, බලව! මා සන්තකයේ ඇති තුල් මාරු කළ හැකි මෙම පන්හිද? නුඔ ඔතරම් ගුණ වයනා කැප්රොල් පන්හිඳ මෙම පන්හිඳ ඉදිරියේ සිය ගුණයෙන් ද, දහස් ගුණයෙන්ද, දස දහස් ගුණයෙන් ද,   පංගුවක් තරම්වත් ගත හොහැකි දෙයකි. නුඹගේ වෙන්ඩ මයිලනුවන් නුඹ අන්දවා ඇති සෙයකි. පත්කඩක් ගෙනයාම වැනි භාරදූර රාජකාරියකට ‍මෙවැන්නකින් අත්ලස් ලබාගැනීමට සිත් වූයේ නුඔගේ මොළයට ඉහඳ පනුවන් විද ආපදා කොට ඇත්දැයි මා චිත්ත සන්තානයේ කුහුලක් උපනැ" යි අපහාස කොට සිය කැප්රොල් පන්හිඳ කෙරෙහි මදනායකාගේ මානය බිඳලීය. එතකින්ද නොනැවතී  සිය පන්හිද පෙන්වමීන් එහි නැති ගුණ කියාපීය. යහලු ඥාණතිස්සයෝ "එසේයැ, එසේයැ" ආදී වදනින් බුද්ධිඝෝෂයෝ අරභයා අගුල් පත් තැබීය.

මදනායකගේ සිත ද මේ වූ වික්ෂිප්තයෙන් තුල් මාරු කරන පැන්සල වෙත ඇලී ගියේය. ඉදින් මදනායකයෝ "මාගේ මේ කැප්රෝල් පන්හිද දින කිහිපයකට, මෙවක් වූ අරුම පුදුම තුල් මාරු කරන පැන්සල හා මාරු කරමි"යි අදිටන් කරගතපීය.

එවිට යහලු ඥාණතිස්සයෝ, "මදනායකය, ඔබට අනුකම්පාවෙන් තුල් මාරුකල හැකි පැන්සල ඔබගේ නොවටනා පන්හිඳට අප හුවමාරු කලේ වීද, මෙම පැන්සලේ තුඩවල් අප උගුල්වා ගන්නෙමි. කැප්රෝල් පන්හිඳ පුරවා ගැනීමට කැප්රෝල් පටි යහමින් දෙන්නෙ වී නම් ඒ හිලව්වට පමණක් තුඩවල් දෙමි"යි අනෙක් යෝජනාවක් ද දැක්වීය. මදනායකයෝ ද බුද්ධිඝෝෂන්ගේ හා ඥාණතිස්සයන්ගෙ වහසි බස් නම් වලාපටින් වැසුනු බුද්ධිය නම් හිරු කිරණින් යුක්තව සිටි නියාවෙන් ඒ සියල්ලට එකඟව සිය පන්හිඳ ද, කැප්රෝල් පටි මංජුසාව ඇර එයින් සුඟක් ද හුවමාරු කරගතපීය. මෙයින් මහත් සොම්නසින් උදම් වූ යහලු දෙබෑයෝ හෙටින් උදාවන නිවාඩු දෙදිනේ දී  කැප්රෝල් පන්හිදෙන් නියමාකාර ප්‍රයෝජන ගනමෝ වේදැයි කතාබස් කොට නික්ම ගියෝය.

සූර්ය දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ දිනයක වැඩ නිමවා හෝරා කිහිපයක ඈවෑමෙන්, පසු දින උදයේ සිය රශ්මි කදම්භයෙන් පොලෝ තලය සනහා තවත් දිනෙක උදාව දැක්වීය.

උදෑසනම කෙලියෙන් දවස ගෙවීමට පැමිණි ඥාණතිස්සයෝ සමඟ බුද්ධිඝෝෂයෝ ද නියම් ගමේ බොහෝ වැසියන් කැප්රෝල් පන්හිදෙන් මුලා කරවමියි සොම්නස් සිත් ඇතිව පිටත් වීය. ඉදින් මෙම අරුම පුදුම පන්හිදෙහි උපායට අසුනොවූ කෙනෙක් හෝ හදුනා ගන්නේ වී නම් එය නොමල ගෙයකින් අබ මිටක් ගන්නා වැනි වු දුෂ්කර කාර්යක් ම වන්නේය. බුද්ධිඝෝෂන්ගේ ගෙයින් ප‍ටන් ගත් තැන සිට අනුලෝම ආකාරයෙන් පණිවිඩ පත් බෙදන රණවීරය, කඩේ වික්ටර්ය, විල්බොට්ය, ජයසිරිය, වෙළන් බාස්ය, අලි බාස්ය, කරණවෑමියාය, චාලි සිටුතුමාය යන පුරුෂන්ද, අනුලාද, සෝමලතාද, බියුලින්ද, පොලින්ද, ගුණවතී ද, එතනා ද යන ගැහැණුන්වද උපායෙන් මුලා කරමින් දවස ගෙවන්නෙ මධ්‍යාහ්න හිරු කිරණින් මඩනා සිත ද ගතද විය. ඉනික්බිති මුන් දෙදන අහස බලා "ඉර මධ්‍යාහ්නට එළඹ ඇත, දවල් බතට වෙලාවයැ"යි කතිකා කොටගෙන ගෙට එන්නෝ දිවා ආහාරය ගෙන සිය උපායෙන් ගම්මුන් බිය වැද්දවු කළ ඔවුන්ගේ ගිරියෙන් හඩ තැලුම්, පරුෂ වචනයෙන් බිණීම්, පහරදීමට පැන්නීම් ආදී විකාර දේ ගැන සතුටු සාමිඡ්චියෙන් පසු විය.

සවස් යාමයේ අශ්ඨවාපී ගම්මානයේ එක් කෙලෙවරක පිහිටි ආරාමයට රැස්වූ, රටේ රාලය, මොහොට්ටාලය, සංවර්ධන සමිතියේ ලේකම් තැනය, භාණ්ඩාගාරික තැනය, ආරාමයේ ප්‍රධාන සංඝනායක ස්ථවිරයන් වහන්සේය යන පිරිවර, කලින් යොදා ගත් පරිදි ආරාමයේ බුද්ධ මන්දිරයට හුනු පිරියම් කිරීමටත්, අනෙකුත් අලුත්වැඩියා කටයුතු උදෙසාත් ආධාර එක්රැස් කරනු වස් ගෙන් ගෙට යන්නෙ බුද්ධිඝෝෂයන්ගේ දොරකඩට වන්නේය.

බුද්ධිඝෝෂයන්ගේ පියා ද මවද සාසනයට නැමුනු සිත් ඇත්තෝ ය. ඒ කෙරෙහි මහත් ශ්‍රද්ධා කටයුතුය. ඉදින් ආරාමයේ ප්‍රතිසංස්කරණාදී කටයුතු උදසා ආධාර කරන්නෙ, බුද්ධි‍ඝෝෂයන්ගේ පියා විසින් සිය පසුම්බියෙන් කහවනු සීයේ පටියක් ඇද සිය පුත්‍රයාට පා, "කිමෙක්ද පුතණුවනි, බලා නොයිද  නුඹගේ අපල උපද්‍රව ඇතොත් ඒවා හිරු දුටු පිණි බිඳු මෙන් වියැකී යේවායි සිතා මෙතැන නම ලියා අත්සන තබව"යි සංඝනායක ස්ථවිරයන් දැක්වූ පත්කඩ බුද්ධිඝෝෂයන්ට දැක්වාලූය.

බුද්ධිඝෝෂයෝ මෙතුවක් වේලා සෙල්ලමින් ගත කොට ඇති නියායෙන්, "පියාණෙනි, මාගේ සියොලඟ රජස් ආදී කිලිටි ඇති බව නොපේනේද? ඉදින් මා මේ පත ඇල්වූ සැනින් මෙයද කිලුටි වැ යා හැකියැ"යි කරුණු දැක්වීය.

බුද්ධිඝෝෂයන්ගේ බුහුටි කතාව ඇසු සංඝනායක ස්ථවිරයන් ද "දෙව, මම ම නුඔගේ පින්වත් පුත් කුමරාගේ නම ලියමි, ආධාර ගනිමි"යි පියාට පවසා පත්කඩ අතට ගන්නෙ, සිය පන්හිද අන්තර්ධානව ඇති නියාය හැගී ගියෝය. ඉදින් ස්ථවිරයන් වහන්සේ "නුඔලා සන්තකයේ පන්හිදක් වේ නම් දෙව!" යි සිය අනුගාමිකයන් බැණවීය. අනුගාමිකයෝ ද ගමනට වන් කල පන්හිදක්වත්, දෙකක්වත් සහක්කුවේ දමා නොගෙන පැමිණිමේ දෝෂය සංඝණායක ස්ථවිරයන් වහන්සේගෙන් සඟවනු වස්, "පන්හිදක්, පන්හිදක්" යනුවෙන් කපටි සිත් ඇතිව ඔබ මොබ බලමින් සිය පසුම්බිද, සහක්කුද පිරිමදින්නට විය. ‍

අනුගාමීන් ස්ථවිරයන් අරභයා කරන ලද මේ මුලාව බුද්ධිඝෝෂයන්ට ද, අසල ගේට්ටු කනුවට පිට දී සිටි යහලු ඥාණතිස්සයන්ට ද, පෑදී ගිය ගං පතුලේ පෙනෙන්නා වූ ගල් කැටයක් මෙන්ද, ඝණ අන්ධකාරයේ බබලන චන්ද්‍රයා මෙන් ද මනා කොට පෙනී ගියෙන්, බුද්ධිඝෝෂයෝ යහලු ඥාණතිස්සයන් දෙස බලන්නෙ ඔවුන්ටම ආවේනික වූ බසෙකින් යමක් විමැසීය. ඥාණතිස්සයෝ ද එය අනුමත කරන බව හිසින් දැක්වීය.

ඉදින් බුද්ධිඝෝෂයෝ තම යහලු ඥාණතිස්සයන්ගේ අනුමැතියෙන් ඔද වැඩි ගිය සිත් ඇතිව, යට කී අනුගාමිකයන්ගෙන් එකෙක් වන මොහොට්ටාලගේ නේත්‍ර මානයට කැප්රෝල් පන්හිඳ හසුවන සේ යමක් කර දැක්වීය. මොහොට්ටාලයෝද ඔබ මොබ බලමින් මේ වූ ව්‍යසනයෙන් ගැලවෙන්න ‍මෝ කෙසේදැයි විමසන්නේ, බුද්ධිඝෝෂන්ගේ උපාය නිසා උඩ සහක්කුවේ විරාජමානව සිටින කැප්රෝල් පන්හිදෙහි නෙත ගැටී ගියේ ය. ඉදින් මොහොට්ටාල සිතන්නෙ, "එක මුගුරින් පක්ෂීන් දෙදෙනෙකු හෙලමි, මේ කොල්ලාගේ වරද දක්වා, අපගේ වරද සඟවමි"යි සිතා,  "කිමෙක් ද දරුව,  ගරු සංඝනායක ස්ථවිරයන් මෙතරම් වෙහෙසවී පන්හිදක් සොයන නියාව නොපේනේදැ, ගරු කටයුතු අප වැනි උතුමන්ට සැලකීමට තොප වැන්නවුන් සිත් කෙදිනෙක නැමේදැයි නොදනිමි"යි දෝෂාරෝපන කොට, බුද්ධිඝෝෂයන්ගේ අවසරයක් නොමැතිවම සහක්කුවෙන් කැප්රෝල් පන්හිද ගෙන, සංඝනායක ස්ථවිරයන් වහන්සේ වෙත මහත් ගෞරව බහුමානයෙන් පෑවේය.

පන්හිදක් සෙවීම් ආදී කලබලයෙන් යුක්ත වූ අනිත් මිනිස්සු ද, ස්ථවිරයන් වහන්සේ ද මේ වූ විපරීතය නොදැන, මොහොට්ටාල වෙත සිය කෘතඥතාවය දක්වා කැප්රෝල් පන්හිඳ බාරගත්තේය. බුද්ධිඝෝෂයෝද සිතු ලෙසම හරියාකාරව මළ පුඩුව මොහොට්ටාලගේ බොටුවටම හුන් නියාව දැක "ඉදින් මොහොට්ටාලගේ අවසානයයැ"යි ප්‍රීතියෙන් චිත්ත වේග පහල කොටගෙන මුවින් නොබැන සිතපීය. යහලු ඥාණතිස්සයෝ ද පණ්ඩිතකමින් මඩනා ලද සිත් ඇතිව, දුර දිග නොබලා ම අනුමත කිරීම් ආදී නොකටයුත්තක් කලේ වීද මත්තෙහි වීමට හැකි ව්‍යාසනය සිතින් දැක මහත් වික්ෂිතයෙන් ද, වැගිරෙන්නා වූ දහඩිය පොල්ලෙන්ද, අයාගත් මුවින් ද, වෙව්ලුම් කන්නා වූ පාද යුග්මයෙන් ද, පිටවෙන්නා වූ කර්ණදූමයෙන් ද යුතුව බලා හුන්හ.

කෙ‍තරම් වීරිය කලද ලබු කබල් දියෙහි ගිල්වා තැබිය නුහුනු සේ මොහොට්ටාලගේ පුර්ව ජන්ම අකුසල කර්මයක් අන් සියල්ල යටපත් කොට ගෙන පැන නගින්නෙ, කැප්රෝල් පන්හි‍ද ගත් සංඝනායක ස්ථවිරයන් වහන්සේ බුද්ධිඝෝෂයන්ගේ නම පත්කඩේ කිරීමට "බු" යන්න ලියන්නට සිතා එහි කොපුව ඉවත් කලා එපමණකි.

මෙතුවක් වේලා කොපුවට සිරවී විභව ශක්තියෙන් පොහොසත්ව තිබු යවුල අසුරක් ගසන වේගය කෙතෙක් ද, එයින් සියයෙන් පංගුවක වේගයෙන් කෙලගෙන පැමිණ යහලුවන් කලින් ස්ටෑන්ට් බයි කොට තිබූ කැප්රෝල් පටියෙහි පවත් වන්නා වූ ගිනි බෙහෙත් බොත්තමෙහි ඝට්ඨනය විය. එකල් හී සංඝනායක ස්ථවිරයන් ද අවට සිටි මිනිස්සු ද මහත් වූ භයට පත්කරමින් කැප්රෝල් පන්හි‍දෙන් ලොවෙත් නැති ශබ්දක් වා තලයට මුසු ව ප්‍රකම්පනය වූයේ එය පුපුරා ගියේ ය.

ක්ෂණයකින් ප්‍රාදූර්භූත වූ මෙම ශබ්දය අදහාගත නොහැකි අයෙක් වු රටේ රාලය, සංවර්ධන සමිතියේ ලේකම් තැනය, භාණ්ඩාගාරික තැනය යන අය, " ඉදින් අප නටුයෙමු. ගම්මුන් උදෙසා පෙර අප එකමුතුව කල මුල්‍ය වංචාවන් දෙවියන් දැක, අපට වැසි නැති හෙන පාත්කරන්නේයැ"යි මුලාවටත්, භය‍ටත් පැමිණ, මේ ව්‍යාසනයෙන් අප මුදාලුව මැනවයි සංඝනායක ස්ථවිරයන්ට බණවා යාඥාවෙන් කන්නලව් කලාහුය.

සංඝනායක ස්ථවිරයන් වහන්සේ ද සිය සංසාර ගමනේ දී කොපුව ගලවන විට පුපුරා යන එකදු පන්හිඳක හෝ මතකයක් නැති නියායෙන් එතැනම පාෂාණීභුතව වැඩ හුන් සේක.

අවශේෂ පුදගලයන් වූ බුද්ධිඝෝෂන්ගේ මෑණියෝද, පියාණෝද, යහලු ඥාණතිස්සයෝ ද පිලිවෙලින්, පැණි කුරුල්ලන්ය, තාරුකාය, කොම්බුය යන දේවල් හිසින් පැන නැග නැග තිබීයදී ම බිරාන්තව බලා හුන්හ. මේ ශබ්දය කණවැකී ගිය අසල්වැසියෝද, අනෙක් වැඩක් කරගැනීමට මාවතේ ගිය මිනිස්සු ද වහා එතැන වටවිය.

එකල්හී මොහොට්ටාලයෝ මේ වූ සියල්ල තමා හා සංඝනායක ස්ථවිරයන් බිඳ වීමට බුද්ධිඝෝෂයන් කල උපායකැයි හරියාකාර අනුමානයට පැමිණ, සංඝනායක ස්ථවිරයන්ට වැද එකත්පසව උන්වහන්සේ බණවා බුද්ධිඝෝෂයන්ගේ දුෂ්ඨ උපායක් නිසා මෙවැනි ව්‍යසනයක් සිදු වූවා නොවේදැයි හේතු කියපීය. සංඝනායක ස්ථවිරයන් ද මහත් වූ වේගයෙන් "එය එසේ දැ"යි බුද්ධිඝෝෂයන්ගෙන් පෙරලා විමසුව සේක.

බුද්ධිඝෝෂයෝ ද යට කී පරිදි උපායෙහි දක්ෂයෙකි. කුඩා කලම ස්ථානෝචිත ප්‍රඥ්ඥාවේ කෙල පැමිණියෙකි.

ඉදින් පලබර වූ රුකක් මෙන්ද, පැසී ගිය ඇල් වී කරලක් මෙන්ද, ඉදිරියට නැමී සිය හස්ථයන් නලල් තලය පිට හොවා සංඝනායක ස්ථවිරයන් වහන්සේට වැද එකත්පසව, කේසර සිංහයෙකුගේ නාදය කෙසේද, එසේ වූ ගාම්භීර සංප්‍රයුක්ත නාදයකින් ස්ථවිරයන් අමතන්නෙ මෙසේ කීය, "ගරු සංඝනාකය ස්ථවිරයන් වහන්ස, දැන් වූ සකල විද උපද්‍රව උදෙසා මාගේ කිසි බැඳීමක් නොවන්නේය. සියල්ල වූයේ මේ මොහොට්ටාලගේ අඥාණකම් නිසා නොවේදැ"යි පවසන්නේ, සංඝනායක ස්ථවිරයන් වහන්සේ ඒ කිමෙක්දැයි විචාල කල්හී, පෙර දින රෑ නරඹන ලද සිතුවම් පටයක මන බඳනා ලද දර්ශණ කඩක් සවිස්තරව අනෙකුන්ට විචාරන්නේ කෙසේද, එසේ වූ ආකාරයෙන් ස්ථවිරයන් වහන්සේගේ චෛතසිකයේ චිත්තරූප මැවෙන සේ මොහොට්ටාලගේ කයිරාටික කම පෙන්වා, එතකිනුත් නොනැවතී තමාගේ අනුදැනුමක් නොමැතිවම මොහොට්ටාලයෝ මෙය පැහැරගත් නියාව අභිණනයෙන් ද වචනාර්ථයෙන් ද දක්වා සිටියේය.

මොහොට්ටාලගේ කයිරාටික කමත්, බුද්ධිඝෝෂයන්ගේ ස්ථානෝචිත ප්‍රඥාවේ මහිමයත් දුටු එතැනට රැස් වූ මිනිසුන්ගෙන් සමහරෙක් බුද්ධිඝෝෂයන් අරභයා ප්‍රශංසා මුඛයෙන් පිහිටියෝ ය. සමහරෙක් හිකිස් යන අනුනාදයෙන් සිනහවේ පිහිටියෝ ය. සමහරෙක් තම කරෙහි වූ අමුඩ ලෙහෙන්සුව නම් රෙදි කඩ දෙඅතට ගෙන ගෞරවාර්ථයෙන් පිහිටියෝ ය. අවශේෂ මිනිස්සු බුද්ධිඝෝෂ කුමරාගේ ප්‍රඥාවේ මහිමය නිසා මහත් චිත්තප්‍රීතියෙන් යුක්තව සංඝනායක ස්ථවිරයන් වැද ගෙවල් බලා පිටවීය.

පින්වත් පුතණුවණි, නුඹද නියමාකාරයෙන් ස්ථානෝචිත ප්‍රඥාව ප්‍රගුණ කලේ වී නම්, එකල මොහොට්ටාලගේ උපායෙන් ගැලවුනු බුද්ධිඝෝෂයන් මෙන් මෙදින නුඹට ද එවැනි මනුෂ්‍යයන්ගෙන් ගැලවීම නියත නොවේදැයි විචාරා, තවද පුත් කුමරුගේ මතු යහපත ම උදෙසා පවසන්නේ, "බුද්ධිඝොෂ කුමරු අරභයා ඇති කතා වත්ථු නම් එමටය. සත් දිනක් වුව නොනවත්වා කීමට ​කතා වස්තු පවත් වන්නේයැ"යි මතුවට එන එහි ලින්ක් ද දක්වා පළමුව සයිබර් අවකාශයට ගොස් මත්හෙහි ඇති සයිබර් යායට ගොඩවැදී තොපට රිසි වන්නේ කෙතෙක්ද, එතෙක් කතා කියවා තම ප්‍රඥාව වඩවා ගන්නෙ නම් මැනවයි කැප්රෝල් පන්හි‍දේ කතා වත්ථුව නිමා කලේ ය.

පුත්‍ර තෙමේත් ''යහපති, පියාණෙනී"යි පිලිවදන් දී ඩොංගල් නම් උපකරණය පරිගණයට පූට්ටු කරපීය.

ඉනික්බිති පියාණෝ ද තිස්තුන් කෝටියක් වූ දෙවි දේවතාවුන් ආමන්ත්‍රණය කොට, තම පුතණුවන් කෙරෙහි නුවණ පිහිටුවා ගැනීමට උපකාරී වූ බුද්ධිඝෝෂ කුමරුන් අරභයා අනේක වාරයක් පින් දී මහත් වූ සාධු කාර පැවැත්වීය.

 - කැප්රොල් පන්හි‍දේ කතා වත්ථුව නිමි. -

 
.......................................................
- බුද්ධිඝෝෂ සිටු කුමරු.

ගැටපද විවරණය - 
  • ජාතික තක්සලාව -  කුඩා දොරටුවක් නිසා ඇතුලත් වීමට ඉතා අපහසු පාසල් වර්ගයකි.
  • මහා තක්සලාව -  ජාතික තක්සලාවෙහි දොරටුවට වඩා ටිකක් ලොකු දොරටුවක් ඇති පාසල් වර්ගයකි.
  • කණිෂ්ඨ තක්සලාව -  මෙහි දොරටුව මකර කටක් මෙන් ලොකුය. ළමුන් පාසලට එනවාට වඩා පිටවී යයි.
  • සබ්මැරීනය - දිය තුල ගමන් ගන්නා වාහනයකි.
  • කැප්රෝල් - වෙඩි බෙහෙත් ගුලියක් නිශ්චිත දුරකින් තබා නිමවා ඇති පටි වර්ගයකි.
  • කහවනු සීයේ පටිය -  මුහුනතෙහි දැක්වෙන අගය නිතර අවප්‍රමාණය වන අරුම පුදුම මුදල් නෝට්ටුවකි. විටෙක පාවේ.
  • මැජික්මය පන්හිඳ - ජිමික් වැඩ කල හැකි පෑනක්.
  • ස්ටෑන්ට් බයි - පොරොත්තුවෙන් සිටීම.
  • ලොවෙත් නැති ශබ්දය - හිතාගත නොහැකි තරම් වූ ශබ්දය.
  • පැණි කුරුල්ලන්ය, තාරුකාය, කොම්බුය යන දේවල් - සමහර මිනිසුන් බිය වූ විට මේවා හිසින් පිට වේයැයි මිත්‍යා මතයක් වේ. බොහෝවිට මෙයට වගකිව යුත්තෙ චිත්‍ර ශිල්පීන්ය.
කැප්රෝල් පන්හිදෙහි ක්‍රියාකාරීත්වය පෙන්වන සටහනක් -


2012/07/11

අද කාටුන් - 21 - කතන්දරකාරයාගේ තුන ඉවරයි | හුරේ...! අපි කලින්ම කිව්වා ඕක වෙයි කියලා.....

අද දවසේ වැදගත් කම මොකද්ද?

තල වැපිරුවොත් තල,  මුං වැපුරුවොත් මුං ලු! 

ඒක තමා අද වෙලා තියෙන්නෙ. මෙතුවක් කාලයක් බලාගෙන හිටියේ මේ දවස උදා වෙනකල්. මොකද, කව්රුහරි බ්ලොග් ලියන්නෙක් කතන්දරකාරයා වගේ වෙන්න දැඟලුවොත් ඒ ඕනම කෙනෙක් ට මුණ දෙන්න වෙන්නෙ මේ වගේ සිද්ධියකට තමයි.

අද කතන්දරකාරයාටත් ඒ සිද්ධියට මූණ දෙන්න වෙලා. එයා බ්ලොග් ලියන්න පටන් ගද්දි මේ වගේ දෙයක් වෙයි කියලා හීනෙන්වත් හිතන්න නැතුව ඇති. හරි සතුටුයි. අපිත් බලාගෙන හිටියෙ මේ වගේ අවස්ථාවල් එනකල් තමා. 

" තල වැපිරුවොත් තල,  මුං වැපුරුවොත් මුං " කිව්වට සමහර වෙලාවට පැණි දොඩම් පැලයක් හිටෙව්වාම ඒකෙ පලගන්නෙ ඇඹුල් දොඩම්. රන් තැඹිලි පැලයක් හිටවපු කාටද කියන්න පුලුවන් අවුරුදු ගාණකට පස්සෙ ඒක ගොන් තැඹිලි පීදෙන්නෙ නැහැමයි කියලා.



ඔන්න ඔහොමලු උනේ.

ඉතින් කතන්දරකාරයාගේ තුන අහවර වී කතන්දර බ්ලොගය සිව්වන වසරට පා තැබීමත්, ඕනමැන්ටල්ගේ උපන් දිනය එදිනට යෙදීමත් යන කරුණු කරණ කොටගෙන මගේ හිතේ බුර බුරා නැගුනු ආවේගය හන්දා ඇඳුනු සිත්තරෙයි ඔය තියෙන්නෙ. 

ඔතන තියෙන රුවන් වැකි ද, දෙබස් ද, අරව ද, මෙව්ව ද වලින් ගොඩක් දේවල් මීට හරියට අවුරුද්දකට කලින් ඒ ගොල්ලම කියපුවා හොදේ. ඕං අපි නං නෑ! 

බොරුනං මේ තියෙන්නෙ.
  • කතන්දරකාරයාගේ තුන ඉවරවීම ගැන වැඩිපුර තොරතුරු වලට මෙතැනින් යන්න.
  • ඕනමැන්ටල්ගේ උදාන වාක්‍ය සත්‍ය දැයි බලාගන්න මෙතැනින් යන්න.
  • මහා පඬි බීටල් බෙයිලියන්, රුවන් වැකිය ප්‍රකාශ කල ඒ ‍අසිරිමත් ‍මොහොත බලාගන්න මෙතැනින් යන්න.
  • වැදගත් - මෙම භාව ප්‍රකාශණය ගැන ඔබගේ වටිනා අදහස් පල කරන්න පහල ඇති කොටුවට යන්න. 

ඕං ඕකයි අද දවසේ වැදගත්කම.

නැවත හමුවෙමු!

................................................
-  විදෙස් සිත්තරා.

ප/ලි - 
ඊයේ රෑ හීනෙන් ග්‍රැෆික් අවහල් වලට අධිපති දේවතාවිය ඇවිල්ලා කිව්වා නියම කතාවක්. පහුගිය දවසක කතන්දරකාරයාගේ ගම් පැත්තට ආපු චණ්ඩ මාරුතයෙන් උන්දැගෙ කොන්ඩේ සේරම උඩු හුලඟට ගහගෙන ගියාලු. ඒක හින්දා තට්ටය හයිලයිට් වෙන්න අඳින එක නුවණට හුරුයිලු. ඕනමැන්ටල්ගෙ නම් නැත්තෙ තට්ටෙ විතරලු. ඔය දෙන්නව දැක්ක කව්රුහරි ඉන්නවනම් ඒ ගැනත් පොඩ්ඩක් කියලා යන්ඩකෝ.

2012/07/05

ඊ ලඟ ඉබ්බා !

ඔන්න එකෝමත් එක රටක, එකෝමත් එක කැලෑවක, එකෝමත් එක විලක ඉබ්බෙක් ජීවත් උනා.

අවාසනාවට වගේ කතාව පටන් ගද්දි ම ඉබ්බා විල අත ඇරලා යන්නයි සුදානම් වෙන්නෙ. මේ හේතුව හින්දා විල ගැන වර්ණනාවක් කරන්න නම් අවස්ථාව ලැබෙන්නෙ නෑ. ඇරත් මේ වෙද්දි විල පිහිටලා තිබුනු පැත්තට චණ්ඩ හිරු රැස් පායලා විලේ වතුර ඔක්කොම වගේ ඉහලට ඇඳගෙනයි තිබුනේ. හරි විදිහට නම් ඉහලට ඇඳනු ජලකඳ මේ වෙද්දි වැස්ස විදිහට නැවත ලැබෙන්න කාලේ හරි. ඒත් මොකක් හරි වැරැද්දක් වෙලා වැස්ස හොඳටම ප්‍රමාද උනා. විලත් සීග්‍රයෙන් හීදීගෙන ගියා. අතිජාත කොක්කු දෙන්නෙක් උදව්වට නොපැමිණෙන්න, මේ වෙද්දිත් ඉබ්බා තමන්ගේ අවාසනාවන්ත, කටුක අවසානය එන තෙක් මඟබලාගෙනයි හිටියෙ.

“දුක් වෙන්න එපා යාලුවේ..... අපි ඔයාව මලින් පිරි විලකට ගිහිල්ලා ඇරවන්නම්.....ඔයාට එහේ රජෙක් වගේ ඉන්ඩ ඇහැකි...... එහේ ඔයාට ඉබි යාලුවොත් එමට...!“

“ඒත් කොහොමද මම එච්චර දුරක් යන්නෙ....අහසින් යන්ඩ කියලද කියන්නෙ......?“

“ඔව් අපි එක්කගෙන යන්නම්.......“

“හපොයි..... ඒ ගැන මතක් කරන්න එපා........ මතකනේ අපේ මුතුන් මිත්තන්ට වෙච්ච දේවල්.... ආයිත් ඒ වගේ දෙයක් ගැන නම් මට හිතන්ඩ බෑ!“

“මේ අහන්න මිත්‍රයා...... දැන් කාලේ අලුත් නොවැ. අපිට අහසින් ගමන් කරන්න බොහොම ආරක්ෂාකාරි ක්‍රමයක් පිළියෙල කර ගන්න බැරි වෙන එකක් නෑ.....“

“අනේ මන්දා............“

ඉබ්බෙකුට අහසින් යන්න පුලුවන් ආරක්ෂාකාරීම ක්‍රමය මොකක්ද? වියත් කොකුන් එක්වෙලා සාකච්ඡා කලා. අන්තිමේ එයාලා අසාර්ථක වූනු පැරණි ක්‍රමයේ නිවැරදි කොටස් අරගෙන වඩාත් ආරක්ෂාකාරී ක්‍රමයක් ප්‍රතිනිර්මාණය කලා.

මේ ක්‍රමයට ඉබ්බෙක් බිමට වැටීමට ඉඩ තියෙන සම්භාවිතාවය බොහොම අඩුයි. ඇත්තටම ඒක 0.1% කටත් වඩා අඩු ප්‍රතිශතයක්.

දිනය උදාවුනා.

“අද දවස අපේ ඉතිහාසයට එකතුවෙන්නෙ මකන්න බැරි දවසක් හැටියට. මේ වෙද්දි ඉතාම ආරක්ෂාකාරීව ඉබ්බෙකුට ගුවන්ගත වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉබ්බන්ගෙත්, කොකුන්ගෙත් චිරාත්කාලීන මිතුදමට මේක හොඳ උදාහරණයක්.“ උත්සව සභාව අමතපු කොකුන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වෙලා ඉන්න විද්‍යාඥ කණ්ඩායමේ ප්‍රධානියා කිව්වා. හැමෝම ඒකට එකග උනා. ඉබි නයිදේ ගෞරවාන්විතව හිස සැලුවා.

සරළව කිව්වොත් ක්‍රමවේදය මෙහෙමයි. මුලින්ම කොකුන් දෙදෙනෙකුගේ අතේ දුරට, ඇත්ත වශයෙන්ම තටුවෙ දුරට සමාන වානේ දණ්ඩක් තියෙනවා. ඒ දන්ඩෙ මැද තමා අපේ ඉබි නයිදෙ එල්ලිලා යන්නෙ. දෙපැත්තෙන් කොකුන් දෙන්නා දණ්ඩ ඩැහැගෙන ඉන්නවා. අතීතයෙ දි වගේ ඉබ්බගේ කට යන්තමින් හෝ විවර වෙලා දණ්ඩෙන් ගිලිහිලා ගියාට දැන් බය වෙන්න දෙයක් නෑ. මොකද චීන සර්කස් කණ්ඩායම් වල සගයෝ, උඩ කරනම් වලට සුදානම් වෙද්දි පළදිනවා වගේ ඉබ්බගේ ඉනෙත් බඳ පටියක් බැඳලා තියෙන්නෙ. ඒක රැහැනකින් සම්බන්ධ කරලා තිබුනෙ වානේ දණ්ඩට. ඊට අමතරව මේ තුන් දෙනාට යටින් ලේසියෙන් කැඩෙන්නෙ නැති ශක්තිමත් රැහැන් වලින් වියපු දැලක් අරගත්තු තවත් කොකුන් හතර දෙනෙක් ගමන් කලා. යම් විදිහකින් ඉබ්බාට දණ්ඩ අතඇරුනොත් මේ දැලට නොවැ එතකොට වැටෙන්නෙ.

අන්තිමේ ගුවන් ගත වෙන මොහොත උදා උනා. ඉබ්බා අවසාන වතාවට දිය සිඳුනු විල දිහා හැරිලා බැලුවා. සියල්ලන්ගෙ ඔල්වරසන් මැද්දෙ කාණ්ඩෙ ගුවන් ගත උනා.

ගුවන් ගත වෙලා සුලු මොහොතක් යද්දි ම ඉබ්බට වැටහුනා මේ ගමන ඉතාම ආරක්ෂාකාරී එකක් ය කියලා. ඒ එක්කම තම අතිජාත මිතුරු කොකුන් කෙරෙහි ලොකු ගෞරවයක්. ඇයි කව්රු හරි මේ වගේ උදව්වක් කරාවියැ යටි අරමුණක් නැතිව.

තවත් ටිකක් ඉදිරියට යද්දි පාසල් ළමුන් කාණ්ඩයක් විවේක කාලෙක සෙල්ලම් කරනවා හරි අපූරුවට පේන්න ගත්තා. හරියට අතීතයේ ඒ අවිනිශ්චිත දවසේ තමන්ගේ මී මුත්ත දැක්කා වගේ. එතැන හිටපු එක් කටකාර දරුවෙක්,

“ආන්න බලාපල්ලා........ ආදිකාලේ වගේ ඉබ්බෙක් අහසින් යනවා......“ කොල්ලා කෑ ගැහුවා.

“හැබැයි ටිකක් වෙනස් නේද......?“ තවකෙක් අගුල්පත් තිබ්බා.

මේ අවස්ථාවේ දී ඉබ්බා නොසැලි හිටියා. ඇයි තමන් හොඳටම දන්නවා පුරාවෘතවල තමන්ගේ මීමුත්තන්ට වෙච්ච අකරතැබ්බ වල මහත!

ඉබ්බා ගැන හැමෝටම සතුටුයි.

“ඇත්තටම අර යල් පැන ගිය පැරණි ක්‍රමයට උණත් මේ වගේ බුද්ධියක් තියෙන ඉබ්බෙකුට ලේසියෙන් අහසින් ගමන් කරන්න පුලුවන් - නැද්ද හොඳයි?‘ මේ අවස්ථාව සහසුද්දෙන් බලාගෙන හිටපු අර ශක්තිමත් දැල අරගෙන යන කොකුන්ගෙන් ඉදිරි පේලියෙ කොකෙක් කිව්වා.

“හැබෑ නේන්නම්.....“ තවත් කොකෙක් ඒකට එකඟ වුනා.

 “ඉබ්බො අහසින් ගිය පැරණිම ක්‍රමය හරිම විහිලු සහගතයි......!“ පිටුපස පේලියේ එක කොනක් අරගෙන යන පරිනත කොකෙක් කියන්න උනා. “ඉතින් අපිටත් දැගනත්න එක්කලා කියන්නකෝ....... තව සෑහෙන දුරක් යන්නත් එපැයි......“ ආධුනික කොකෙක් වන අන්තිමයා ඉල්ලීමක් කලා. අනිත් දෙදෙනත් ඒක අනුමත කලා.

“හ්ම්.....මුලින්ම ඉබ්බෙක් අහසින් ගියේ නිකම්ම නිකං දණ්ඩක..... ඒකනෙ කට ඇරියේ හැටියෙ බිම ඇද වැටුනේ.... ඊලග පරම්පරාවෙදීත් ඉබ්බා නැහුනෙ කට හින්දා. තුන්වැනි පරම්පරාවෙ දි, ඒ කියන්නෙ අපේ ආධුනික කාලේ දි, මේ වගේම ඉබ්බෙක් අහසින් ගියා නොවැ. ළමයිගෙ සද්දෙට ඉබ්බා කලබල වෙයි කියලා හිතපු අපේ කොකෙක් කියාපි, යාලුවේ, මොන දේ උනත් බිමට බහින තුරු කතා එපාය කියලා. අවාසනාවට එතකොට කොකාගෙ කටින් දණ්ඩ ගිලිහුනා. ඉබ්බා හොදටම බය වෙච්ච බව දැනගත් අනිත් කෝකා “කිසිදේකට බය වෙන්ඩ එපා ඉබි නයිදෙ මම ඉන්නවා නෙව ඕන දේකට කිව්වා. හපොයි........"

"හැබැයි අපේ හොඳ කාලේ එද්දි හැමෝම ඇති පදම් අතීතයෙන් පාඩම් ඉගෙනගෙන තිබුනේ. ඒ කාලෙ මම සෑහෙන්ඩ පළපුරුදු ඇත්තෙක්. මුලින්ම ආරක්ෂක දැලක් අරගෙන ගියෙත් ඒ වතාවේ. වැඩේ කියන්නෙ එදා පාරත් මොකක් හරි වැරැද්දකින් ඉබ්බාට දණ්ඩ අතඇරුණා. ඇත්තටම නං කට ඇරුනා. ඒ වෙලාවේ දී තමා ඉබ්බා කෙලින්ම ඊට අඩි ගාණක් යටින් සමාන්තරව යන අපේ දැලට වැටුනේ. ඉබ්බා දැලට වැටුනු හැටියේ දැලේ රැහැනක් කටින් තදට අල්ලාගත්තා. එතනදි නම් හැමදේම හොඳ අතට වුනා තමා. ඒත් එක කොකෙක් කිව්වා නෙව “බලන්න පෙර සුදානමේ වැදගත්කම“ කියලා. අන්න එතනදී ඒ කොකාගෙ කටින් දැලේ එක කොනක් ගිලිහුනා. අනිත් පැත්තෙ කොක් හාමි ඕක දැකලා “අනේ.... කරුණාකරලා තව ටිකක් පලල් කරන්න“ අත ඇරුනු එකේ අඩුව මඟ ඇරගන්න අටියෙන් අනිත් කොකුන්ට බෙරිහන් දුන්නා. එතකොට වෙච්ච හරිය මම කියන්ඩ ඕනිද? හැබැයි ඔය සිද්ධිය බලාගෙහ හිටි අපේ දැල ගෙනියන කාණ්ඩෙ නායක කොකා “කතා කරන්න එපල්ලා!“ කියලා අණක් නිකුත් කලා. හැබැයි මම නං වචනයක් වත් කතා කලේ නෑ. මොකද දැල අතඇරුනොත් වෙන සංගෙඩිය සහසුද්දෙන් දන්න හන්දා. ඉතින් මම වගේ ඉතාම බුද්ධිමත් කොකෙක් දැක්කම කාටද අගය නොකර ඉන්න ඇහැකි. එදා වුනෙත් ඒකමයි. “හපොයි හොඳ වෙලාවට නොවැ උඔ වගේ බුද්ධිමතෙක් හිටියෙ......“ ඉබ්බා කිව්වා. ඔය විදිහට අහසින් යන්න ගිය එක ඉබ්බෙක්ටවත් ගමනාන්තෙට නං යන්න උනේ නෑ.

“අපුරු ඉතිහාස කතාවක්........“ ඒක අහගෙන හිටි අනිත් කොකුන් කියන්න උනා.

"ඇත්ත.........ඉතිහාස කතා කොහොමත් ලස්සනයි නොවැ....... ඒත් උඔලා රාජකාරිය හරියට නොකර ඉතිහාස කතා කියන එක නං බොහොම වැරදියි........දැන් බලාපල්ලා කෝ උඔලාගෙ දැල....." මේ කතාව අහගෙන හිටි ඉහලින් දණ්ඩ ඩැහැගෙන යන එක කොකෙක් කිව්වා. ආන්න ඒ මොහොතෙ දී කොකාගෙ අතින් දණ්ඩ ගිලිහුනා මේ වතාවෙත්.

"ඒයි අතඇරියා නේද දණ්ඩ........" ඉබ්බා කලබලෙන් කිව්වා. ඒ එක්කම ඉබ්බගෙ කටිනුත් දණ්ඩ ගිලිහුනා. ඒත් ආරක්ෂිත බදපටිය හන්දා කුරුමානම වැරදුන චීන සර්කස් කාරයෙක් වගේ ඉබ්බා දණ්ඩෙ පැද්දෙන්න උනා. ඒක දැකපු අනික් කොක් නයිදෙ "හොඳ වෙලාවට බදපටිය තිබුනේ" කියද්දිම මුල්ම ඉතිහාස කතාවට තවත් පරිච්ඡේදයක් එකතු කරමින් ඉබ්බා වැටෙන්න උනා.

"මේ කොටසෙදි නම් වැරැද්දෙන් සෑහෙන පංගුවකට වග කියන්න වෙන්නෙ කොකුන්ට. මොකද ඒ ගොල්ලයි මුලින්ම දැලත් අත ඇරියේ..........  ඒත් ඒගොල්ල සහසුද්දෙන්ම දන්නව ඉබ්බ ඇරුනම වෙන කව්රුත් මේ සිද්ධිය දැක්කෙ නෑ කියලා. ඒ හින්දා ඒ ගොල්ල ආපහු යන ගමනේ දී ඉතිහාසෙට එකතු වෙන්න නියමිත මේ පරිච්ඡේදය ඒ ගොල්ලන්ට වාසි වෙන විදිහට වෙනස් කරලා කියන්න කතා උනා." කියලා කතන්දර සීයා දැහැනකට සමවැදිලා වගේ, හරිම අපුරු විලාසෙකින් කියපු කතාව ඉවර කලා.

"ඒත් කොක්කු ඇයි එහෙම කලේ.................!"

"එහෙම තමා චුටිමහත්තයා.......ඒකට උත්තරයක් නං මමත් හරියට දන්නේ නෑ........ හැමෝම ගියේ උදව් කරන්න...... ඒත් ඕන්නැති කතාවක් හන්දා වැඩේ නොපිට පෙරලුනා නෙව.....‍හක් හක් හා......" කතන්දර සීයා හිනා උනා.

"එහෙම බලනකොට මුලින් ම අහසින් ගිය ඉබ්බත් එයාගෙ වරදින් වැටුනයි කියලා හිතන්න අමාරු නැද්ද......?" මම තර්කයක් ගෙනාවා.

"මොකද නැත්තෙ..... ඒ වෙච්ච හරිය දන්නෙත් ගිය අයම තමයි. රට්ටු මොන කතා කිව්වත් ඇත්ත කතාව දන්නෙ කීයෙන් කී දෙනාද?"

"හ්ම්...... ඊලග පාර යද්දිවත් ඉබ්බගේ පිටේ පැරිෂුට් මල්ලක් එල්ලන්නයි තියෙන්නෙ.......... එහෙම උනොත් වැටුනත් කරදරයක් නැතුව ගොඩබැස්සැකිනේ........"

"අතර මඟදී ඉබ්බා වැටුනේ නැතිනං කොහොමද මයෙ පුතේ අලුත් කතාවක් ගොතන්නෙ.........හෙහ් හෙහ් හේ........." කතන්දර සීයා මහ හයියෙන් හිනාවෙලා විටක් කොටන්න හිතාගෙන වංගෙඩිය පැත්තට හැරුනා.

................................................
- කෙහෙල්කොටුවේ චුටි මහත්තයා.

ප/ලි-
මේකට ලස්සන සිත්තර දෙක තුනක් තිබුන නම් පංකාදුයි කියලා මමත් පිළිගන්නවා. ඒත් චුටි මහත්තයගේ කතා කියවපු මහත්තැන් කෙනෙක්ගෙ හිත උනුවෙලා මට අරගෙන දීපු ඒ "ඉලෙක්ට්‍රොනික් උපකරණය" අද ගේන්න අමතක උනා ‍නොවැ. සමාවෙන්ඩලා හොදේ!
...............
- විදෙස් සිත්තරා.


ප/ප/ලි -
සොත්ති සපත්තුව අනුග්‍රාහකත්වය තවමත් ඔබ ලබා ගත්තෙ නැත්ද? එහෙනම් දැන්ම පිවිසෙන්න>>>
.....................
- යුරෝ දෙකේ වීරයා.

2012/06/30

අද කාටුන් - 20 - ටෙන්ඩර් කැදවීමයි ! | බ්ලොග් ලියන ධනවතුන් හා ධනවතීලාට

01. priyantha June 28, 2012 4:41 PM
මේකේ සිත්තරේ නැද්දෝ...:(

03.අසේල June 28, 2012 1:04 PM
ඇයි චිත්‍රයක් නැත්තෙ.....

02.හසී June 27, 2012 9:48 PM
සිත්තරා නිවාඩු ගිහින් ද?

03.පරිකල්පන June 27, 2012 7:45 PM
කෝ සිත්තරේ...?

04.සෙන්නා June 27, 2012 3:32 PM
හැකියාවයි, උපකරනයි තියන එකේ, සිත්තරේකුත් දැම්මනම් නරකද.. ?

05.Beetle June 27, 2012 10:38 AM
මේකට සිත්තරයක් නැති එක නම් වස පාඩුවක්...

06. Sahan WeerasingheJune 27, 2012 9:34 AM
ඒකනේ දැං සිත්තර එන්න එන්නම අඩු වෙනවා,,, මටත් දැං එපාවීගෙන එන්නෙ...

07.වෙද ගෙදර මහ වෙදනාJune 27, 2012 9:12 AM
නරකද මේ ගැන ලස්සන රූපයක් ඇන්දොත්. විදෙස් සිත්තරා නම් කැමති ඇති.

මේ  පහුගිය දවසක පලවුනු වුනු සොත්ති සපත්තුව කතාවට ලැබුනු ප්‍රතිචාර කිහිපයක්.

කතාවලට සිත්තර නැති වුනු එක, සෙනසුරාදාට විතරක් සිත්තර පලවෙන එක ඉබේ සිද්ධ උනු දෙයක් නෙමේ. ඒ කාලෙ ඉදන් සයිබර් යායට ගොඩවෙලා මේකෙ වෙන දේවල් ගැන ඇහැගහගෙන ඉදලා සිත්තර ගැන මට උපදෙස් දුන්නු පොරක්ගෙ කියමනකට අනුවයි මේ දේවල් සිද්ද උනේ.

ඒ කාලේ මම එයාව එච්චර දන්නෑ. ඒත් දවසක් මට ලිඛිත මාර්ගයෙන් කතා කලා.

පොර - මසං... මම අහවල් බ්ලොග් එක ලියන අහවලා. මසං... මං පොඩි දෙයක් කියන්නං උඔ තරහ වෙනවද?
මම -  ඉතිං කියාපං.... මම මොකටද තරහා වෙන්නෙ......!
පොර -  මසං... උඔගේ ලියුම් වලට සිත්තර දැමිල්ල නැගලා යනවා නේද?
මම - නැතුව අපි වැඩක් කලොත් දන්නවනේ.......
පොර -  මසං... තව සිත්තර දෙක තුනක් දාලා ඕක නවත්තපන්....
මම -  වට් නොංසං... ආ යු මෑඩ්....!
පොර -  නෝ..මේට්! මේ අහපන්....එතකොට අගේ වැඩි වෙනවා. ඉදලා හිටලා එකක් දාපන්... ටික දවසක් යද්දි උඔගෙන් කට්ටිය "සිත්තර දාන්නෙ නැද්ද?, සිත්තර දාන්නෙ නැද්ද?" කියලා අහන්ඩ ගනියි. ඕක පොඩ්ඩක් ඩිමාන්ඩ් කරාපං.....!
මම - එහෙමද? ටැංකොයි!.... උඔලා වගේ අදහස් දක්වන අය ඉන්න එක මට ලොකු හයියක්. 


ඔය පොර ඔතනින් නැවතුනේ නෑ. ජාත්‍යන්තර මට්ටමේ කාටුන් වෙබ් අවඩි වල ලින්ක් එහෙමත් මහ ගොඩක් මට එව්වා. ඒවා බලලා ඉගෙන ගන්න කියලා.


ඉතින් මම මිනිහව විශ්වාස කලා. ඒ අනුව කතන්දර වලින් සිත්තර අයින් කරලා සෙනසුරාදාට විතරක් ඒවා දැම්මා. ඔන්න දැං මිනිහා කිව්ව විදිහට වැඩේ පත්තුවෙලා. සිත්තරේ නැතුව සමහරුන්ට කෑවත් නොකෑවා වගේලු. කිව්වට පිළිගන්ඩ මේල් සිය ගාණකින් මගේ ඉන්බොක්ස් එකත් පිරිලා මේ වගේ ඉල්ලීම් වලින්. (ඉන්බොක්ස් එක මට විතරයි නේද පේන්නෙ?)

වැදගත් ම දේ ඒ එක නෙමේ පින්වතුනි, මිනිහා ව මම මගේ සිත්තර උපදේශක තනතුරට පත්කර ගත්තා. අඩු වයසින් ම මිනිහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වෙන ලකුණු පෙන්නුම් කරනවා. එකක් තමා මට එක උපදේශක් දීලා ජනතාව ඉදිරියේ, සොරි! ඕගොල්ල ඉදිරියේ ඕගොල්ලන්ගේ පැත්තට කතා කරන එක. ඔය ඉහල සිත්තර ඕනෑ කියලා කමෙන්ට් කරපු කට්ටිය අතර එයත් කමෙන්ට් කරලා. බලන්ඩකෝ හැමදේම මිනිහා හරි ඉක්මනට අල්ලගන්න හැටි.

ඉතින් මේ විදිහට භාණ්ඩයක හරි සේවාවක හරි ඉල්ලුම වැඩි වෙද්දි මොකද වෙන්නෙ. ඒකේ අගය ඉහල යනවා. එතකොට මොකද කරන්නෙ. එක්කෝ හොඳ ගාණකට විකුණලා දානවා. නැත්තම් අනුග්‍රාහකයෝ ‍කට්ටියක් අල්ලාගෙන වැඩේ ලාබ පිට කරගෙන යනවා.

ඔය විදිහට කල්පනා කරලා බලලා අපි තීරණය කලා "සොත්ති සපත්තුව" කතාවේ සිත් ගත් අවස්ථා කිහිපයක් ඇතුලත් කාටුන් සිත්තර ටිකක් ඇඳලා දාන්න. හැබැයි ඒවා පලකරන්නෙ ඒ ඒ අවස්ථාවන් හා චරිත වලට අනුග්‍රහකයෝ ටිකක් හොයාගන්න පුලුවන් උනොත් විතරයි.

ඔය ගැන කියලා අපි කෙටි දැන්වීමක් දැම්මා කමෙන්ට් එකක් හැටියට. ඒ අවස්ථාවේදීම මේ වැඩසටහනේ වටිනාකම තේරුම් ගත්තු ධනපති බ්ලොග්කාරයෝ ටිකක් වහාම අනුග්‍රහය දෙන්න ඉදිරිපත් උනා. වැඩේ කියන්නෙ හැමදේම ඉක්මනට තේරුම් යන බ්ලොග් ලියන ධනවතීලට ඒක තේරුම් ගන්ඩ ටිකක් වෙලා ගිහිල්ලා.

මේ තියෙන්නෙ ඒකට උදාහරණ.

01. අනුග්‍රහය දක්වන්නේ මොකටද අනේ. ඒකත් විස්තර කරලා දෙන්ට. (කමෙන්ට් මාර්ගයෙන්)
02. මොකද්ද අනේ ඒ කේෂ් එක.... චිත්තෙකුත් අඳින්ඩ ඕනිද? (චැට් මාර්ගයෙන්)
03. ආ... මං හිතුවා අපි එක එක්කෙනා ඇඳලා එව්වම ඔයා ඒ සංඝටක ටික එකට සම්පින්ඩනය කරලා දානවයි කියලා... හිකිස්..... (දුරකතන මාර්ගයෙන්)

ඔය හේතුව හන්දා අපි තීරණය කලා සම්පුර්ණ පැහැදිලි කිරීමක් එක්ක නියමිත ටෙන්ඩර් පටිපාටිට අනුගමනය කරලා ප්‍රසිද්ධ ලියමනක් දාන්ඩ. ඒ අනුව ඊයේ දවසේ චරිත මිල දී ගත්තු අයගේ ගනුදෙනු අවලංගු වෙනවා. ඒකට සමාවත් භජනය කරනවා.

අනික මේ වැඩේ නියමිත ක්‍රියාපටිපාටියට කලේ නැත්තං ඕගොල්ල කියයි,  "මේං මෙච්චි විතර දැන්වීමක් දාලා තිබුනේ... ඒක අපි දැක්කෙත් නෑ. වගකිවයුතු ආයතනයක් හැටියට මෙහෙමද ඕගොල්ල වැඩ කරන්නෙ.... නඩුත් හාමුදුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගේ..... වෙනටද පිටුවක් පුරෝලා ඇඩ් දානවා. මේකට මෙච්චිම මෙච්චි කොමෙන්ට් කෑල්ලක් ඉතරයි..... අපිට මේ සිද්ධි දාමය ගැන සාධාරණ මෙව්වා එක්ක පහල වෙනවා..... වහාම මේ ටෙන්ඩර් එක අවලංගු කරලා නැවත තියන්න" වගේ කතා.


ඒක හින්දා ඉතාමත් පැහැදිලිව නිරවුල් ව පහත දක්වලා තියෙන විස්තර කියවලා ඕගොල්ලන්ටත් පුලුවනි අනුග්‍රාහකයෙක් වෙන්න.

කොන්දේසි -
01. ඔබ කල යුත්තෙ පහතින් අප දක්වා ඇති චරිත හා අවස්ථාවන්ගෙන් ඔබ කැමති චරිතයක් හෝ අවස්ථාවක් තෝරාගෙන අනුග්‍රහය දැක්වීමයි.
02. රුපියල පාවෙන නිසා සියලු ගණුදෙනු යුරෝ මගින් සිදු කෙරේ.
03. එක් පුද්ගලයෙකුට ලබාගත හැක්කෙ එක් අනුග්‍රාහකත්වයක් පමණි. ඔබ කැමති දේට දැනටමත් අනුග්‍රහය දක්වා ඇති නම් ඔබට සම අනුග්‍රහය හිමිවේ.


අනුග්‍රාහකත්වය ලබා ගත හැකි චරිත, අවස්ථා හා ඒවායේ මිල ගණන්.
‍‍01. පන්ති නායක. :- යුරෝ - 2,500
02. පද්මිණී ටීචර්.:- යුරෝ - 4,500
03. පොර කන අවස්ථාවේදී නැගෙන දුවිල්ල සහ එයින් පිටවෙන ළමයා. :- යුරෝ - 4,500
04. සිත්තරයේ උඩින්ම යොදන මාතෘකාව.:- යුරෝ - 9,500
05. රබර් බෝලය. :- යුරෝ - 6,800
06. කලු කොටුව :- යුරෝ - 6,900
07 .ඉඳි ආප්ප භාජනය (ටීචර්ලාගේ අතුත් සමඟ). :- යුරෝ - 22,000
08. නව සොයා ගැනීම කියවෙන වැකිය. :- යුරෝ - 45,000
09. නිරූපා ටීචර්.:- යුරෝ - 65,000
10. සපත්තුවේ සිට ඇඳි කඩ ඉරි පේලිය. :- යුරෝ - 76,000
11. අවසන් ජවනිකාවට පණ පොවන නලින්.:- යුරෝ - 90,000
12. සපත්තුව. :- යුරෝ - 96,000
13. කෙහෙල්කොටුව පාපන්දු කණ්ඩායම. :- යුරෝ - 10,000,000
14. කෙහෙල්කොටුවේ චුටි මහත්තයා.:- යුරෝ - 1,000,000,000,000,000,000


උදාහරණ - මෙහි දැක්වෙන රූප බලන්න. ඹයිට හපං අනිත් එව්වා.




අනුග්‍රහය ලබා ගන්නා ආකාරය.
01. මුලින්ම ඔබ කැමති චරිතය තෝරාගන්න.
02  එහි අංකය සහ නම සටහන් කරන්න.
03. එම චරිතයට ඔබ අනුග්‍රහය දක්වන්නෙ ඇයි දැයි සටහන් කරන්න.
04. ඔබගේ අනුග්‍රහය සමග යෙදිය යුතු වැකියක් ඇතොත් සටහන් කරන්න.


උදා- 
අපි හිතමු සෙන්නා මහතා චුටි මහත්තයා දැක්වෙන සිත්තරේට අනුග්‍රහය දක්වනවයි කියලා. එතකොට වෙන්නෙ මෙහෙමයි.

14.කෙහෙල්කොටුවේ චුටි මහත්තයා. - මම මේ චරිතයට අනුග්‍රහය දක්වන්න තීරණය කලේ ඔහු හැබෑ දක්ෂයෙක් නිසයි. අනික හරිම ක්‍යුට් අනේ. ලොකු වෙද්දි රටට වැඩදායි පුරවැසියෙක් වෙනවා නොඅනුමානයි.
අනුග්‍රාහක වැකිය - සෙන්නා - කුරුන්දට ආවොත් ඉතිං සොරිම තමා.....!


(සැලකිය යුතුයි - මේ කොටස් හතර අනිවාර්යෙන් සම්පූර්ණ කළ යුතු අතර අඩක් සම්පූර්ණ ඇති අනුග්‍රාහකයින් ඉවත් කෙරේ. ඔවුන් ගෙවා ඇති මුදල් මකර කටට බැර කෙරේ.)


ප්‍රචාරණය - 
මෙම අනුග්‍රාහක දැන්වීම් ඇතුලත් අලුත්ම ආකාරයේ කාටුනය ජූලි 06 වන සෙනසුරාදා උදේ 6.00 සිට විකාශය වේ.

වැඩි විස්තර - 
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න. cyberlipi@gmail.com
...............................
- යුරො දෙකේ වීරයා.

ප/ලි -
විශ්වාස කටයුතු ආරංචියක් ආවා කට්ටියක් සූදානම් වෙලා ඉන්නවලු “චුටි මහත්තයට“ අනුග්‍රහය නොදී අනික්වට විතරක් අනුග්‍රහය දීලා, චුටි මහත්තයගේ ජනප්‍රියත්වේ අන්තිමට බැහැලා කියලා බොරු ප්‍රචාරයක් යවන්න. ඕගොල්ල නං මේකට අහුවෙන්ඩ එපා හොදේ!

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...